Sunday, January 30, 2011

යටත්විජිතකරණය හා ගෘහනීකරණය ( 06 )

මෙම ලිපිය අප විසින් ප‍්‍රකාශයට පත් කෙරුනු ඉතිහාස සඟරාවේහි ඵල කරන ලද්දකි. මේ හරහා යටත් විජිතකරණය සම්බන්ධයෙන් මාරියා මීස් හෙලන තියුනු ස්ත‍්‍රීවාදී බැල්ම පුලූල් අවකාශයක් තුළ සාකච්ඡා වීම වැදගත් යැයි අප සිතමු. මේ නිසා මෙම ලිපිය අපගේ බ්ලොග් අඩවියෙහි කොටස් වශයෙන් නැවත පලකරමු. මෙවර පලවන්නේ මෙම ලිපියෙහි අවසාන කොටසයි
 
යටත්විජිතකරණය හා ගෘහනීකරණය ( VI – කොටස )


දෙවන අවධිය ගෘහනිය හා න්‍යෂ්ටික පවුල: කුඩා සුදු මිනිසාගේ ‘යටත් විජිතය’


ලොකු සුදු මිනිසුන් හෙවත් Mamozai කී පරිදි ‘අධිපති මිනිස්සු,’ අපි‍්‍රකාවේ ආසියාවේ හා මධ්‍යම හා දකුණු ඇමරිකාවේ මිනිසුන්, ස්වභාවික සම්පත් හා ඉඩම් තමන් විසින් නිෂ්පාදය නොකරන ලද අමුද්‍රව්‍ය, නිෂ්පාදන හා ශ‍්‍රම බලය ලබා ගැනීම පිණිස සූරා කමින්, ස්වදේශික ජනතාවන් විසින් නිර්මාණය කරන ලද සියලූ සමාජ සබඳතාවලට බාධා කරන අතරතුර, සිය පීතෘ භූමී තුළ පීතෘමූලික න්‍යෂ්ටික පවුල් ගොඩනැගූ හ. එ් වනාහි අද අප දන්නා එ්ක භාර්යා න්‍යෂ්ටික පවුලයි. රාජ්‍යයේ විශේෂ ආරක්‍ෂාව යටතට පත් කරන ලද කරන ලද මෙම පවුල ඥතිත්වයේ හා සහජීවනයේ මූලධර්මයන්ගේ බලහත්කාරී සම්බන්ධ කිරීමකින් සමන්විත විය. එහිදී මිනිසා මෙම ගෘහයේ ‘මූලිකයා’ ලෙසද, ආදායම් නොඋපදවන නීත්‍යානූකූල බිරිඳගේ හා දරුවන්ගේ ‘ආදායම් උපයන්නා’ ලෙසද අර්ථකථනය කරන ලදි. 18වන සියවසේදීත්, 19වන සියවසේ මුලදීත්, මෙම විවාහය හා පවුල් ස්වරූපය කි‍්‍රයාත්මක කල හැකි වූයේ ධනපති දේපල හිමි පංතීන් අතර පමණි. ගොවීන්, ශිල්පීන් හා කම්කරුවන්, අතර ගැහැනුන්ට හැමවිටම හැම වැඩක්ම බෙදා හදා ගැනීමට සිදු විය. ඉහත කී වවාහ හා පවුල් ස්වරූපය සියලූ දෙනා අතර පිළිගැනීමට ලක් කරනු ලැබුවේ රජය විසින් 19වන සියවසේ අගභාගයෙන් මෙපිටදී තල්ලූ කරන ලද නීතිමය ප‍්‍රතිසංස්කරණ මාලාවක් ඔස්සේ ය. ජර්මනියේත්, වෙනත් යුරෝපීය රටවලත් දේපල අහිමි ජනයාට ආවාහ විවාහ සම්බාධක රාශියක් තිබිණි. මේවා අහෝසි කරනු ලැබුවේ 19වන සියවසේ අගභාගයේ දී ය. එසමයෙහිදී දේපල අහිමි වැඩ කරන පංතිය තුළ උත්පත්තිය හා බැඳුණ ප‍්‍රතිපත්තියක් ප‍්‍රවර්ධනය කිරීමට රජය මැදිහත් විය. (Heinsohn iy Knieper, 1976)
මෑත කාලීන පවුල් ඉතිහාසයන් විසින් හෙළිදරව් කරන පරිදි, යුරෝපයේ විශේෂයෙන්ම එංගලන්තයේදී හා ප‍්‍රංශයේදී පවුල පිළිබද සංකල්පය පවා ජනපි‍්‍රය වුයේ 18වන සියවසේ අග භාගයේදී බවයි. 19වන සියවසේ මැදහරියට පෙර මෙම සංකල්පය කම්කරුවන්ගේ හා ගැමි ගොවීන්ගේ ගෘහයන් වෙත පැමිණ නො තිබිණි. මක් නිසාද යත්, පොදු මතයට පටහැනි අන්දමින්, ‘පවුල්’ තුළ සුවිශේෂ පංතිමය අර්ථ නිරූපණයක් තිබිණි. ‘පවුල’ අත්පත් කර ගත හැකි වූයේ දේපල හිමි පංතීන්ට පමණි. ගොවිපල සේවකයන් හා නාගරික දිළින්දන් වැනි දේපල අහිමි ජනයාට ‘පවුලක්’ හිමි කර ගත හැකි යයි නොසැලකිණි. (Flandrin,1980; Heinsohn සහ Knieper, 1976) එහෙත් අද අප තේරුම් ගන්නා ආකාරයේ ‘පවුල’ (එනම් පීතෘමූලික මූලධර්මය මත පදනම් වූ සහවාසයේ හා ලේ ඥතිත්වයේ සුසංයෝගයක් ලෙස) අඩු තරමේ වැඩවසම් ප‍්‍රභූන් අතරවත් නො තිබිණි. වැඩවසම් ප‍්‍රභූන්ගේ පවුල සියලූ පවුල් සාමාජිකයන් අතර සහවාසය අදහස් කළේ නැත. විශේෂයෙන්ම සැමියා. බිරිඳ හා දරුවන් අතර සහවාසය ධනපති පවුලේ ඉතා වැදගත් නිර්නායකයක් විය. එ් අනුව පවුල පිළිබඳ අපගේ වර්තමාන සංකල්පය වනාහි ධනේශ්වර එකකි. (Flandrin,1980; Laz Tangangco,1982)
ධනවාදයේ ලක්ෂණයක් වූ ශ‍්‍රමයේ සමාජ හා ලිංගික විභජනය තහවුරු කරනු ලැබුවේ ධනපති පංතිය විසිනි. ධනපතීහු ‘පවුල’ ආර්ථික හා දේශපාලන ‘පොදු’ අවකාශයෙන් පිටස්තර පෞද්ගලික බල ප‍්‍රදේශයක් බවට පත් කළහ. ධනපතීහු පළමුව ‘සිය’ ගැහැනුන් මෙම පොදු අවකාශයෙන් ඉවත් කරගෙන තම ‘උණුසුම්’ ගෘහයන් තුළ වසා තැබූ හ. ඔවුනට මිනිසුන්ගේ රණකාමිත්වයන්, ධනකාමිත්වයන් හා දේශපාලනය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව අහිමි කරන ලදී. දහස් ගණන් ගැහැනුන් අරගල භූමියට ගෙන ආ ප‍්‍රංශ විප්ලවය පවා අවසන් වූයේ ගැහැනිය දේශපාලනයෙන් බැහැර කරමිනි. ධනපති පංතිය (විශේෂයෙන් ආගම්වාදී ඉංගී‍්‍රසි ධනපති පංතිය) ශෘංගාරාත්මක පේ‍්‍රමය මෙම පංතියේ නැගීමට පෙර ගැහැනිය සතුව තිබු ලිංගික හා ආර්ථික ස්වාධීනත්වය සඳහා වන්දියක් හා එහි පාරිශුද්ධකරණයක් ලෙස මතයක් ගොඩනැගූහ. නැගී එන ධනවාදයේ වැදගත් න්‍යායාචාර්වරයකු වූ මැල්තුස් (Malthus) පැහැදිලිව ම දුටු පරිදි ධනවාදයට වෙනස් ආකාරයක ගැහැණියක උවමනා විය. දුප්පතුන් සිය ලිංගික ‘සහජාසයන්’ වළක්වා ගත යුතු ය. එසේ නො වෙතොත් දුර්වල ආහාර සැපයුමට දරා ගත නොහැකි තරම් දුප්පතුන් බෝවනු ඇත. අනෙක් පැත්තෙන්, ෆ‍්‍රංසයේ කොන්ඩෝසෙට් (Condorcet) විසින් නිර්දේශ කරන ලද උපත් පාලන විධි ද ඔවුහු පාවිච්චි නොකළ යුතු ය. මක් නිසාද යත්, එමගින් ඔවුන් කම්මැලි කෙරිණි. ලිංගික වැළකීම හා වැඩට සූදානම අතර සමීප සම්බන්ධයක් හේ දුටුවේ ය. එ් වෙනුවට විනීත ධනේශ්වර ගෘහයන් පිළිබඳ සුන්දර චිත‍්‍රයක් ඔහු අඳියි. එහි ආදරය ලිංගික කි‍්‍රයාකාරිත්වයෙන් ප‍්‍රකාශයට පත් නොවන අතර, ගෘහයක භාර්යාව තරගකාරී හා එදිරිවාදී ‘පිටත’ ලෝකයක මුදල් වෙනුවෙන් වෙහෙසී වැඩ කරන ආදායම් උපදවන්නාට සුවපහසු නිවසක් නිර්මාණය කිරීම සඳහා ලිංගික ‘සහජාසයන්’ මර්දනය කර ගනියි (Heinsohn, Kneiper හා Steiger විසින් උපුටා දක්වන ලද Malthus, 1979) Heinsohn, Kneiper හා Steiger පෙන්වා දෙන පරිදි, එංගල්ස් හා මාක්ස් විසින් විශ්වාස කරන ලද ආකාරයෙන් ධනවාදය පවුල විනාශ කරන්නේ නැත. එ් වෙනුවට රාජ්‍යයේ හා පොලීසියේ උපකාරයෙන් එය පළමුව දේපල හිමි පංතිය අතර ද, පසුව වැඩ කරන ජනයා අතර ද, පවුල ගොඩනගන අතර, එ් සමඟම ගෘහනිය සමාජ ප‍්‍රවර්ගයක් බවට පත් වන්නී ය. එසේම මුල් කාලීන කර්මාන්ත නිර්ධන පංතියේ තත්වය හා සංයුතිය පිළිබඳ විස්තර අනුව, අද අප තේරුම් ගන්නා ආකාරයේ පවුල ඔවුනට සාමාන්‍යයෙන් පිළි ගන්නා අන්දමේ ආදර්ශයක් වුයේ නැත.
අප සියලූ දෙනා දන්නා පරිදි, මුල් කාලීන කර්මාන්ත පංතියෙන් බහුතරය වූයේ ගැහැනු හා ළමයි ය.  වඩාත්ම මිළ අඩු හා වෙනත් කිසිිදු ශ‍්‍රමිකයෙකුට වඩා සූරා කෑ හැකි කොටස වූයේ ඔවුහු ය. ළමයින් ඇති ගැහැනියකට පණ ගැට ගසා ගැනීමට නම්,  ඕනෑම වැටුපක් භාර ගැනීමට සිදු වන බව ධනවාදීහු තේරුම් ගත් හ. අනෙක් පැත්තෙන් ධනපතීන්ට ගැහැනු කරදරකාරිත්වයෙන් පිරිමින්ට වඩා අඩු වූ හ. පුහුණු මිනිසුන් මෙන් නොව ඔවුහු තව දුරටත් සංවිධානගත වී නො සිටියහ. මිනිසුන්ට නම් එකට වැඩ කරන්නන් හා සම්ප‍්‍රදායික ශිල්ප ශ්‍රේණි ලෙස සංවිධානය වීමක් තිබිණි. බොහෝ කලකට ඉහතදී ගැහැනුන් මෙම සංවිධානවලින් පන්නා දමා තිබිණි. ඔවුනට අලූත් සංවිධාන ද, කේවල් කිරීමේ බලය ද නොතිබිණි. එහෙයින්, ධනපතීන්ට ගැහැනුන් වැඩට ගැනීම අවදානමින් අඩු හා ලාභදායි මඟක් විය. කර්මාන්ත ධනවාදයේ නැගීම හා වෙළඳ ධනවාදයේ බිඳ වැටීම සමග (1830දී පමණ) ගැහැනුන්ගේ හා ළමයින්ගේ ශ‍්‍රමය අධික ලෙස සුරාකෑම ප‍්‍රශ්නයක් විය.  අධික ලෙස වැඩ කිරීමෙන් හා නරක ශ‍්‍රම පසුබිම හේතුවෙන් ශක්තිමත් කම්කරුවන් හා සොල්දාදුවන් බවට පත් විය හැකි ළමයින් වැදීමේ හැකියාව ගැහැනුන්ට නැති වී යන බව සියවසේ පසු අවධියේ යුද්ධ කිහිපයක් විසින් පෙන්වා දෙන ලදී.
මෙම ගැහැනු බෙහොමයක් නියම ‘පවුල්වල’ ජීවත් නො වු හ. අවිවාහක හෝ අතහැර දමන ලද ඔවුහු වැඩ කරමින්, ළමයින් හා තරුණයන් සමග තැනින් තැනට ගිය හ. (මාක්ස්, ප‍්‍රාග්ධනය, 1 කාණ්ඩය) කර්මාන්ත ශාලා වෙනුවෙන් කාලකන්නි කම්කරුවන් ජනනය කර දීමේ විශේෂ උනන්දුවක් මේ ගැහැණුන්ට තිබුනේ නැත. එහෙත් ගෘහගත ගැහැනිය පිළිබඳ පරමාදර්ශ සහිත ධනේශ්වර සුචරිතයට ඔවුහු තර්ජනයක් වූහ. එහෙයින් නිර්ධන පංතික ගැහැනිය ගෘහගත කිරීම ද අවශ්‍ය විය. ඇය ලවා තවත් කම්කරුවන් බිහි කර ගත යුතු විය.
මාක්ස් සිතූ ආකාරයට පටහැණි ව, ළමයින් ජනනය කිරීම නිර්ධන පංතියේ ‘සහජාසයට’ සීමා කළ නොහැකි විය. මක් නිසා ද යත්, Heinsohn හා Keniper පෙන්වා දුන් ආකාරයට දේපල අහිමි නිර්ධන පංතියට ළමයින් උපදවීමේ භෞතික ආශාවක් නො තිබිණි. ධනපති පංතියට මෙන් නොව, මහළු වියේදී ඔවුනට දරුවන්ගේ ආරක්‍ෂාව නො ලැබිණි. එබැවින් මිනිසුන් ජනනය කිරීමේ කාර්යයට මැදිහත් වීමට රාජ්‍යයට සිදු විය. නීති, පොලිස් කි‍්‍රයාමාර්ග හා පල්ලියේ මතවාදී ප‍්‍රචාරණය හරහා නිර්ධන පංතියේ ලිංගික ශක්තිය ධනේශ්වර පවුලේ රාමුව තුළට ගැනීමට සිදු විය. නිර්ධන පංතික ගැහැනිය ද ගෘහනීකරණය කළ යුතු විය. එහෙත් සැමියා ගෙන විත් ඇයටත්, දරුවන්ටත් කවන පොවන තෙක් බලා සිටීමට ඇයට හැකි වූයේ නැත. 19 වන සියවසේ ජර්මනියේ මෙම තත්වය Heinsohn සහ Krnieper (1976) විශ්ලේෂණය කරයි. ඔවුන්ගේ ප‍්‍රවාදය වන්නේ පොලිස් කි‍්‍රයාමාර්ග හරහා ‘පවුල’ නිර්ධන පංතිය වෙත තල්ලූ කිරීමට සිදු වූ බවයි. එසේ නොවුවහොත් නිර්ධනයින් ඊළඟ පරම්පරාවේ කම්කරුවන් ලෙස ප‍්‍රමාණවත් තරම් ළමයින් ජනනය නො කරනු ඇත. මේ වන විටත් කි‍්‍රයාත්මක කර තිබුණු, ළදරුවන් මැරීම අපරාධයක් බවට පත් කිරීමේ නීතියෙන් අනතුරුව, දේපල අහිමි පංතිවලට විවාහය තහනම් කළ නීති ද අහෝසි කරන ලදී. උතුරු ජර්මනියේ ලීගය විසින් 1868දී මෙම නීතිය සම්මත කරන ලදී. දැන් නිර්ධනයින්ට ද ධනපතීන්ට සේම විවාහ වී ‘පවුල්’ ගොඩනගා ගත හැකි විය. එහෙත් එපමණක් සෑහුණේ නැත. මෙම පවුලේ සීමාව තුළ සිදු වූ පරිද්දෙන්, ලිංගිකත්වය ද සීමා, කළ යුතු විය. එබැවින්, විවාහයට පෙර හා පවුලෙන් බැහැර ලිංගික සංසර්ගය නීති විරෝධි කෙරිණි. කම්කරුවන්ගේ සදාචාරය පිළිබඳ සොයා බැලීමේ පොලිස් බලය නිෂ්පාදන මාධ්‍යවල හිමිකරුවන්ට පැවරිණි. ෆ‍්‍රංස අපි‍්‍රකානු යුද්ධයෙන් (1870-71) පසු ගබ්සාව නීති විරෝධී කරන නීති සම්මත කරන ලදී. නව කාන්තා ව්‍යාපාර මෙම නීතියට එරෙහිව සටන් කළේ ය. එහෙත් ජයග‍්‍රහණ අවම විය. රාජ්‍යය සමග එක් වූ පල්ලිය මිනිසුන්ගේ ආත්මයට බලපෑම් කළේ ය. අනාගමික රාජ්‍යය විසින් නීති විරෝධී කරන ලද දේ පල්ලිය පාපයන් බවට පත් කළේ ය. පල්ලිය වැඩිපුර මිනිසුන් කරා ළගා වූ හෙයින් එයට විශේෂයෙන්ම පිටිසරදී, රාජ්‍යයට වඩා පුළුල් බලපෑමක් තිබිණි. (Heinsohn සහ Knieper,1976) මේ අන්දමින් ගෘහණීකරණය නිර්ධන පංතිය වෙත ද පටවන ලදී. Heinsohn සහ Kreiper, (1976) අනුව, දේපල අහිමි ගොවිපළ සේවකයන් හා කම්කරුවන් අතර කිසි කලෙක පවුල කියා දෙයක් තිබුණේ නැත. එය බලෙන් ගොඩනැගිය යුතු විය. මේ වන විට ගැහැනුන් සතුව තිබුණ උපත් පාලනය පිළිබඳ දැනුම අහිමි වී යාමෙන් හා පල්ලිය හා රාජ්‍යය ගැහැනියට තම ශරීරය තුළ තිබුණ ස්වාධීනත්වය උදුරාගෙන තිබුණ හෙයින් මෙම මූලෝපාය හරි ගියේ ය.
ගෘහනීකරණයේ එකම අරමුණ වූයේ ප‍්‍රාග්ධනයට හා රාජ්‍යයට ඇති තරම් ශ‍්‍රමිකයන් හා සොල්දාදුවන් සපයා දීම නො වේ. 19වන සියවස අග හරියේදීත්, 20වන සියවස මුලදීත් ගෘහ කටයුතු නිර්මාණය කිරීම හා ගෘහනිය පරිභෝජනයේ නියෝජිතවරියක කිරීම ඉතා වැදගත් උපායමාර්ගයක් විය. පුළුල් පරාසයක අලූත් උපකරණ සඳහා එ් වන විටත් ගෘහය වෙළඳපළ වී තිබුණා පමණක් නොව, ගැහැනිය තව දුරටත් ගෘහනීකරණය කිරීම සඳහා විද්‍යාත්මක ගෘහ කළමනාකරණය නව මතවාදයක් බවට ද පත් ව තිබිණි. ශ‍්‍රම වියදම් අඩුකිරීමට පමණක් නොව, නව අවශ්‍යතා නිර්මාණය කිරීමට ද ඇගේ ශක්තීන් බලමුළු ගැන්විණි. රසායනික කර්මාන්තයේ නව නිෂ්පාදන අලෙවි කිරීම සඳහා කුණු, විෂබීජ, බැක්ටීරියා ආදියට එරෙහිව පිරිසිදුකම හා සනීපාරක්‍ෂාව සඳහා පූර්ණ යුද්ධයක් ආරම්භ කෙරිණි. මිනිසුන්ගේ වැටුප් අඩු කිරීම සඳහා ද විද්‍යාත්මක ගෘහ කළමණාකරනය යොදා ගැනිණි. ගෘහනිය සකසුරුවමින් පරිහරණය කරන්නේ නම් වැටුප දිගුකලකට ප‍්‍රමාණවත් වෙතැයි සැළකිණි. (Ehrenreich සහ English, 1975)
ගැහැනිය ගෘහනියක කිරීමේ කි‍්‍රයාවලිය ඉදිරියට තල්ලූ කරනු ලැබුවේ ධනපති පංතිය හා රාජ්‍යය විසින් පමණක් නො වේ. 19වන සියවසේ හා 20වන සියවසේ කම්කරු පංති ව්‍යාපාරය ද එයට දායක විය. දේපල අහිමි පංතිය මත පටවන ලද බ‍්‍රහ්ම චර්යාව හා විවාහ සම්බාධක අහෝසි කිරීම සංවිධිත කම්කරු පංතිය විසින් ද පිළි ගන්නා ලදී. 1863 ජාත්‍යන්තර වැඩ කරන ජනයාගේ සංගම් සමුළුවට ජර්මානු නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද එක් ඉල්ලීමක් වූයේ කම්කරුවන්ට පවුලක් ගොඩනගා ගැනීමට ඇති නිදහසයි. Ehrenreich සහ English (1976) පෙන්වා දුන් පරිදි, එම යුගයේ දී Lassalle විසින් නායකත්වය දෙන ලද ජර්මානු කම්කරු පංති සංවිධාන දේපල අහිමි පංතිි මත පටවන ලද බ‍්‍රහ්ම චර්යාවට එරෙහිව සටන් කළාට වඩා පවුලක් ගොඩනගා ගැනීමේ හිමිකම වෙනුවෙන් සටන් කළ හ. එ් අනුව බලහත්කාර බ‍්‍රහ්මචාර්යාවෙන් නිදහස් වීම ඓතිහාසිකව අත්පත් කර ගනු ලැබුවේ සමස්ත දේපල අහිමි පංතියම ධනේශ්වර විවාහ සහ පවුල් නීතිවලට යටත් කිරීමෙනි. ධනේශ්වර විවාහය හා පවුල ‘ප‍්‍රගතිශීලි’ ලෙස සැලකුණ බැවින් වැඩ කරන පංතිය මෙම ප‍්‍රමිතිය අත්පත් කර ගැනීම කම්කරු පංතියේ බොහෝ නායකයින් විසින් ප‍්‍රගතිශීලි කාර්යයක් ලෙස සලකන ලදී. ඉහළ වැටුප් සඳහා කම්කරු ව්‍යාපාරවල අරගල බොහෝ විට සාධාරණීකරණය කරන ලද්දේ මිනිසකුගේ වැටුප බිරිඳ දරුවන් රැක බලාගෙන ගෙදර රැදී සිටිද්දී පවුල නඩත්තු කිරීම සඳහා ප‍්‍රමාණවත් විය යුතු ය යන තර්කයෙනි.
1830, 1840 සමයේ සිට 19වන සියවස අවසානය දක්වා ජර්මානු පිරිමි කම්කරුවන්ගේත්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ සංවිධානගත ව සිටියවුන්ගේත් ආකල්පය Thonnessen විසින් හඳුන්වාදෙනු ලැබුවේ ‘නිර්ධන පංතික ස්තී‍්‍රවාද විරෝධය’ ලෙසයි. (Thonnessen,1969:14) එය මූලිකව ම ගොඩනැගුණේ ගැහැනුන් කර්මාන්ත නිෂ්පාදනයට ඇතුළු වීම විසින් තම වැටුප් හා රැකියා තර්ජනයට ලක් වනු ඇති ය යන බිය විසිනි. විවිධ කම්කරු සම්මේලන හා පක්‍ෂ සමුළු රැුසකදී ගැහැනු කම්හල්වල වැඩ කිරීම තහනම් කිරීමට යෝජනා කරන ලදී. 1866දී ජිනීවාහි පැවැත්වුණ පළමු ජාත්‍යන්තරයේ සමුළුවෙහිදී ද මෙම ප‍්‍රශ්නය සාකච්ඡා කෙරිණි. එම සමුළුවේ මහ සභාවේ නියෝජිතයන්ට උපදෙස් කෙටුම්පත් කළ මාක්ස් කියා තිබුණේ නූතන කර්මාන්තවල ගැහැණුන් හා ළමයින් නිෂ්පාදනයට සම්බන්ධ කර ගැනීමේ ප‍්‍රවණතාව ප‍්‍රගතිශීලී එකක් ලෙස සැලකිය යුතු බවයි. එහෙත්, ෆ‍්‍රංස කණ්ඩායම හා ජර්මානු නියෝජිත පිරිසේ සමහරු ගැහැනුන් නිවසින් පිටත වැඩ කිරීම කෙරෙහි දැඩි විරෝධයක් පළ කළ හ. ජර්මානු අංශය පහත සදහන් සිහි කැඳවීම පවා ඉදිරිපත් කළ හ.
‘…. බිරියන්ට හා මව්වරුන්ට අයිති කාර්යයන් ඇත්තේ ගෘහයේ හා පවුලේ ය. මිනිහා බැරැරුම් පවුල් හා පොදු කටයුතුවල නියෝජිතවරයා වන විට බිරිය හා මව ගෘහස්ත ජීවිතයේ සුවපහසුභාවයේ හා කාව්‍යමය ගුණයේ නියෝජිතවරිය විය යුතු ය. ඇය සමාජ චාරිත‍්‍රවලට සුන්දරත්වය රැගෙන ආ යුතු අතර මානව  වින්දනය උසස් හා උදාර තලයකට රැගෙන ආ යුතුය.‘ (Thonnessen,1969:14)
මාක්ස් සහ එංගල්ස් විසින් කොමියුනිස්ට් ප‍්‍රකාශනයෙහිදී බැහැර කරන ලද කුහකත්වය හා ධනේශ්වර හැඟීම්බරභාවය ගැහැනිය ‘නියමිත’ ස්ථානයේ තබා ගැනීමට උවමනා පිරිමි නිර්ධන පංතිකයන් විසින් නියෝජනය කරනු ලබන ආකාරය මේ ප‍්‍රකාශනය තුළ දැකිය හැකිය. එහෙත් කාල් මාක්ස් පවා ගැහැනියකගේ කාර්යයන් පිළිබඳව පැහැදිලි සහ නිරවුල් ප‍්‍රකාශයක් කර නොමැත. පළමුවන ජාතයන්තරයට දුන් උපදෙස්වලදී ඔහු කර්මාන්තශාලාවල ගැහැනියගේ හා ළමයින්ගේ වැඩ කිරීම ප‍්‍රගතිශීලි ප‍්‍රවණතාවකැයි සලකන නමුදු රැ වැඩ සහ ගැහැනුන්ගේ ‘සියුමැලි සිරුරුවලට’ හානි පමුණුවන වැඩ අඩු කළ යුතු බව පවසයි. රැ වැඩ පිරිමින්ට ද නරක යයි සැලකූ හේ ගැහැනුන්ට විශේෂ ආරක්‍ෂාව සැලසිය යුතු යයි පැවසීය. ‘නිර්ධන පංතික ස්තී‍්‍රවාද විරෝධයේ’ ප‍්‍රවණතාව වැඩියෙන්ම ප‍්‍රකාශ කරනු ලැබුවේ ලසාල් (Lassalle) විසින් නියෝජනය කරන ලද ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ පාර්ශ්වයයි. 1866දී පැවති Allgemeiner Deutscher Arbeiter-Verein (ADAV) සමුළුවකදී පහත ප‍්‍රකාශය කෙරිණි.

අපගේ කාලයේ වඩාත්ම සාහසික හිංසනය වන්නේ ගැහැනුන් වැඩපළවල හා නවීන කර්මාන්තවල සේවයේ යෙදවීමයි. එය සාහසික වන්නේ එමගින් වැඩකරන ජනයාගේ භෞතික තත්වයන් වැඩිදියුණු කරනවා වෙනුවට බිඳ දමන හෙයිනි.  විශේෂයෙන්ම පවුලේ බිඳ වැටීම හේතුවෙන් වැඩ කරන ජනගහණය කෙතරම් කාලකන්නි තත්වයකට පත් වන්නේ ද යත්, ඔවුන් වෙත මෙතෙක් පැවති සංස්කෘතික හා පරමාදර්ශී වටිනාකම් අහිමි ව යයි. එබැවින් ශ‍්‍රම වෙළඳපොළ තවදුරටත් ගැහැනුන්ට විවෘත කිරීමේ ප‍්‍රවණතාව හෙළා දැකිය යුතුව තිබේ. ප‍්‍රාග්ධනයේ පාලනය අහෝසි කිරීම මෙයට ඇති එකම විසඳුමයි. සාධනීය හා කේන්ද්‍රීය ආයතන මගින් වැටුප් සබඳතා අහෝසි කර දමන ලද කල සෑම ශ‍්‍රමිකයකුම තම ශ‍්‍රමයේ උපරිම ඵල භුක්ති විඳිනු ඇත. (සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියා(Social Democrat). අංක 139, 1867 නොවැම්බර් 29, 3 වෙලූම)

 
නිර්ධන පංතියට නියමාකාර පවුලක් අවශ්‍ය ය යන දැක්ම දැරුවේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ ‘ප‍්‍රතිසංස්කරණවාදීහු’ පමණක් නොවේ. මාක්ස්ගේ විප්ලවීය උපාය මාර්ගය අනුගමනය කළ රැඩිකල්වරුනට පවා ගැහැනිය හා පවුල පිළිබඳ වෙනත් සංකල්පයක් තිබුණේ නැත. එංගල්ස් සමඟ එ් දක්වා ම එම අංශයේ සිටිමින් ස්තී‍්‍ර විමුක්තිය පිළිබඳ වැදගත්ම දායකත්වය සැපයුවන් ලෙස සැලකෙන August Bebel හා Clara Zetkin පවා නිර්ධන පංතිය අතර නියමාකාර පවුලක් පවත්වාගෙන යාම අගය කළ හ. මව්වරුන්ට ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි කාලයක් යෙදවිය හැකි වනු පිණිස බෙබෙල්ට ද ගැහැනියගේ රැකියා නියුක්තිය අවම කිරීමට උවමනා විය. නිර්ධන පංතික පවුලේ විනාශය පිළිබඳ හේ දුක් වූයේ ය.
හැන්දෑවේ දැඩි ලෙස වෙහෙසට පත්ව නිවසට එන කම්කරු බිරිඳට එතැන් සිට තවත් වැඩ රාශියක් තිබේ. වහා අත්‍යවශ්‍ය කටයුතුවල යෙදීමට ඇයට සිදු වේ. ගෙදරදී නොලැබෙන සතුට සොයා තැබෑරුම් කරා යන මිනිසා බීමට ද….. ඇතැම් විට වඩාත් හානිකර වූ සූදුවට ද පෙළඹෙයි. මේ අතර, නිවසේ සිටින ගැහැනිය මැසිවිලි කියමින්  තිරිසනියක සේ වැඩපල කරයි…… අසමගිය ආරම්භ වන්නේ මෙසේ ය. ගැහැනිය වගකීමෙන් අඩු කෙනෙක් නම්, ඇය ද වෙහෙස වී ගෙදර පැමිණීමෙන් පසු සතුට සොයා යන්නී නම්, ගෘහ කටයුතු බිඳ වැටී කාලකන්නිකම දෙගුණ වේ. (Bebel,1964 157-8 පිටු)
ශ‍්‍රමයේ ලිංගික විභේදනයේ වෙනසක් අවශ්‍ය බව හෝ ගෙදරෙදාර කටයුතු මිනිහා විසින් ද බෙදා හදා ගත යුතු බව බෙබෙල් වටහා නොගනී. ගැහැනිය ප‍්‍රධාන වශයෙන් මවක ලෙස දකින හේ අනාගතයේ ඇගේ භූමිකාවේ වෙනසක් අපේක්‍ෂා නොකරයි.

ක්ලාරා සෙට්කින් විසින් දරණ ලද ප‍්‍රධාන අදහස ද මෙය ම ය. ‘නිර්ධන පංතික ස්තී‍්‍රවාද විරෝධයට’ එරෙහිව ඇගේ අරගල කෙසේ වෙතත්, ඇය ද නිර්ධන පංතික ගැහැනිය දුටුවේ කම්කරුවකුට වඩා මවක හා බිරිඳක ලෙසයි. Gothaහි  පක්‍ෂ සමුළුවකදී ඇය කතාවක් පවත්වමින් ඇගේ න්‍යායේ පහත සඳහන් ප‍්‍රධාන කරුණු ගෙනහැර දක්වයි.
01. ස්තී‍්‍ර විමුක්තිය සඳහා වන අරගළය ධනවාදයට එරෙහි ව නිර්ධන පංතියේ අරගළය තුළ වෙන් කොට හඳුනා ගත හැකි ය.
02. කෙසේ වෙතත්, වැඩ කරන ගැහැනුන්ට ඔවුන්ගේ වැඩ බිම්වලදී විශේෂ ආරක්‍ෂාවක් අවශය ය.
03. වැඩකරන ගැහැනුන්ගේ තත්වය වැඩිදියුණු කිරීම මගින් ඔවුනට සමස්ත පංතියේ විප්ලවීය අරගලයට වඩා කි‍්‍රයාශීලී ව සහභාගි වීමට අවස්ථාව ලබා දෙයි.
මාක්ස් හා එංගල්ස් සේ ම ඇය ද දරන්නා වූ අදහස වූයේ ධනවාදය මිනිසා සහ ගැහැනිය අතර සූරාකෑමේ සමානත්වයක් ඇති කර තිබෙන බවයි. එබැවින් ධනේශ්වර ස්තී‍්‍රවාදීන් කරන්නා සේ නිර්ධන පංතික ගැහැනුන්ට මිනිසුන්ට එරෙහිව සටන් කළ නොහැකි ය. ඔවුන් මිනිසුන් සමග එකතුව ධනපති පංතියට එරෙහිව සටන් කළ යුතු ය.
එබැවින් නිර්ධන පංතික ගැහැනියගේ විමුක්ති අරගළය ධනේශ්වර ගැහැනුන් තම පංතියේ පිරිමින්ට එරෙහිව කරන අරගළයට සමාන විය නොහැකි ය. එ් වෙනුවට එට තම පංතියේ මිනිසුන් සමඟ ධනපති පංතියට එරෙහිව කරන අරගළයක් වේ. නිදහස් තරගකාරිත්වය සීමා කරන බාධක බිඳ දැමීම පිණිස ඇය ඇගේ පංතියේ මිනිසුන්ට එදිරිව සටන් කළ යුතු නො වේ. සූරාකෑමේ හා නවීන නිෂ්පාදන මාදිලි සංවර්ධනය කිරීමේ ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා විසින් මෙය ඇයට ඉටු කර දී තිබේ. එයට වෙනස්ව අවශ්‍ය වන්නේ නිර්ධන පංතික ගැහැනිය සූරා කෑමට එරෙහි ව නව බාධක ඇති කිරීමයි. අවශ්‍ය ව තිබෙන්නේ බිරිඳක, මවක ලෙස ඇගේ හිමිකම් ඇයට ආපසු ලබා දීම හා ඔවුන් ආරක්‍ෂා කිරීමයි. අරගලයේ අවසන් අරමුණ මිනිහා සමග නිදහස් තරගකාරිත්වය තහවුරු කිරීම නො ව, නිර්ධන පංතියේ දේශපාලන බලය පිහිටුවීමයි. (Evans විසින් උපුටා දක්වන ලදී. 1978:114 පිටුව)
මෙම ප‍්‍රකාශයෙහි ඇති කැපී පෙනෙන කාරණය වන්නේ මවක හා බිරිදක ලෙස ගැහැනියගේ අයිතිවාසිකම් අවධාරණය කිරීමයි.
‘මවුන් හා බිරියන් ලෙස තම කාර්යයන්ගෙන් දුරස්ථ වීම කිසි සේත්ම ගැහැනුන්ගේ සමාජවාදී උද්ඝෝෂණවල කාර්යය නොවිය යුතු ය. එ් වෙනුවට නිර්ධන පංතියේ උවමනාවන් වෙනුවෙන් මෙයට වඩා හොඳින් ඇයට මෙම කාර්යයන් සපිරිය හැකි බව වටහා ගත යුතු ය. පවුලේ තත්වයන් හොඳ වන තරමට, ගෘහය තුළ ඇගේ කාර්යක්‍ෂමතාවය වැඩි වන තරමට, ඇයට වඩා හොඳින් සටන් කළ හැකි වනු ඇත. තම සැමියන් හා දරුවන් පංති විඥ යෙන් දිරිමත් කරන බොහෝ මව්වරුන් හා බිරියන් ද අප මේ රැස්වීම්වලදී දකින සහෝදරියන් තරමට ම වැඩ කරති. (Evans විසින් උපුටා දක්වන ලදී. 1978:114-115 පිටු)
මෙම අදහස් පක්‍ෂය තුළ ඉතා සාධනීය දෝංකාරයක් ඇති කළේ ය. එහෙත් අප දකින පරිදි එය බිරිඳක හා මවක ලෙස ගැහැනියගේ කාර්යය දකින ධනේශ්වර සංකල්පයකි. මේ අයුරින් ධනේශ්වර න්‍යෂ්ටික පවුල වැඩ කරන පංතිය තුළ නිර්මාණය කිරීමේ කි‍්‍රයාවලිය හා නිර්ධන පංතික ගැහැනිය ගෘහනීකරණය ජර්මනියට පමණක් සීමා වූයේ නැත. එය සියලූ කාර්මිකරණය වූ හා ‘ශිෂ්ට’ රටවල දැකිය හැකි ය. එය ඉදිරියට ගනු ගැබුවේ ධනපති පංතිය හා රාජ්‍යය විසින් පමණක් නො වේ. කම්කරු පංතියේ ‘ඉතා උසස් කොටස’ හෙවත් යුරෝපා රටවල පිරිමි පුහුණු ශ‍්‍රමික ප‍්‍රභූහු ද එයට දායක වූ හ. විශේෂ වශයෙන් සමාජවාදීන්ට මෙම කි‍්‍රයාවලිය ප‍්‍රාථමික ප‍්‍රතිරෝධයක් ඇති කරයි. එය සමාජවාදී රටවල පවා තවමත් විසඳී නැත.
සෑම ගතානුගතික සමාජවාදියකු ම විශ්වාස කරන පරිදි, සමාජ නිෂ්පාදනයට පිවිසීම ස්තී‍්‍ර නිදහසේ හෝ විමුක්තියේ හෝ පූර්ව කොන්දේසියක් ලෙස සලකන්නේ නම්, එ් හා සමාන්තරව, මිනිසා පවුල් ගෘහමූලිකයා හා ආදායම් උපදවන්නා ලෙස ද ගැහැනිය යැපෙන්නියක, බිරිඳක හා මවක ලෙස සැලකීම ද න්‍යෂ්ටික පවුල ප‍්‍රගතීශීලි ලෙස ද සැලකීම ප‍්‍රතිවිරෝධී වේ.
කෙසේ වෙතත්, මෙම ප‍්‍රතිවිරෝධය ගැහැනු සහ මිනිසුන් අතර සත්‍ය වශයෙන් පවතින පංති විෂමතාවක ප‍්‍රතිඵලයකි. සමස්තයක් ලෙස ගත් කල කම්කරු පංතියට න්‍යෂ්ටික පවුල ගොඩනැගීමේ හා ගැහැනිය ගෘහනීකරණයේ භෞතික අවශ්‍යතාවක් නොමැති බව පවසන Heinsohn සහ Knieper (1976) සමග මම එකඟ නො වෙමි. කම්කරු පංතික ගැහැනියට දිනා ගැනීමට දෙයක් නැති වන්නට පුළුවන,එහෙත් කම්කරු පංතික මිනිසාට එවැන්නක් තිබේ.
තම ස්තී‍්‍ර පංති සඟයින් ගෘහස්ථකරණයේ භෞතික උවමනාවක් නිර්ධන පංතික මිනිසුන්ට තිබේ. එය තුළ එක අතකින් තිබෙන වැටුප් තුළ එ්කාධිපතිත්වය දැරීමේ අවශ්‍යතාව ද, අනෙක් පැත්තෙන් පවුල තුළ සියලූ මූල්‍ය ආදායම්වල පාලනය ලබා ගැනීමේ උවමනාව ද තිබේ. ධනවාදය යටතේ මුදල බලයේ ප‍්‍රධාන මූලාශ‍්‍රය හා මූර්තිය බවට පත්ව තිබෙන හෙයින් නිර්ධන පංතික මිනිස්සු ධනපතීන් සමග පමණක් නො ව, තම බිරියන් සමග ද මුදල් සඳහා සටන් කරති. පවුල් වැටුපක් වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම මෙම අරගලයේ ප‍්‍රකාශමාන වීමකි. නිසියාකාර පවුල් වැටුපක් කිසිදු  කලෙක ගෙවා තිබේ ද, නැද්ද යන්න මෙහිදි වැදගත් නොවේ. (cf. land, 1980 Barrett සහ McIntosh,1980) මෙහි ඇති වැදගත් කරුණ නම් මෙම සංකල්පයේ මතවාදීමය හා න්‍යායික ප‍්‍රතිඵලය විසින් පවුල සහ ගැහැනිය පිළිබඳ ධනේශ්වර සංකල්පය නිර්ධන පංතිය විසින් ඇත්ත වශයෙන් ම පිළි ගනු ලැබීමයි.
ශ‍්‍රම බලයේ වටිනාකම පිළිබඳ මාක්ස්ගේ විග‍්‍රහය ද, කම්කරුවාට ‘වැඩ නොකරන’ ගෘහනියක් සිටියි යන සංකල්පය මත පදනම් වේ. (මීස්, 1981) මෙයින් මතු වැටුප් ශ‍්‍රමය වේවා ගෘහ ශ‍්‍රමය වේවා, ගැහැනු කරන සියලූ වැඩ අඩුවෙන් අගය කෙරිණි.
ප‍්‍රාග්ධන සමුච්චකරණයේදී ගෘහ කටයුතුවල කි‍්‍රයාකාරිත්වය මෑතදී ස්තී‍්‍රවාදීහු ගැඹුරින් සාකච්ඡා කළ හ. මම එම සාධකය මෙහිදී අත්හැර දමමි. මා පෙන්වා දෙන්නේ ගෘහනීකරණය විසින් ධනපතින්ට දැරීමට සිදු වී තිබුණු පිරිවැයක් පිටස්තරකරණය හෝ භූමියෙන් බැහැරකරණය හෝ අදහස් කරන ලද අතර ගැහැනුන්ගේ ශ‍්‍රමය වාතය හා ජලය සේ නොමිළේ ලැබෙන දෙයක් වේ යන්න මෙහි තේරුම බවයි.

එ් අතරතුර ම ගෘහනීකරණය විසින් මෙම සැඟවුණු කම්කරුවන් සම්පූර්ණයෙන්ම පරමාණුකරණය අසංවිධානාත්මක කිරීම අදහස් කරන ලදී. ගැහැනුන්ගේ දේශපාලන බලය හා කේවෙල් කිරීමේ බලය නැතුව යාමට එකම හේතුව මෙය නො වේ. ගෘහනිය වැටුප් ශ‍්‍රමික ආදායම් උපයන්නාට බැඳී සිටින හෙයින් ද, නිදහස් නොවන කම්කරුවකු ලෙස ‘නිදහස්’ නිර්ධන පංතියට තම ශ‍්‍රම බලය විකිණීමේ ‘නිදහස’ පදනම් වන්නේ ගෘහනිය ‘නිදහස් නොකිරීම’ මතයි. මිනිසුන්ගේ නිර්ධනීකරණය පදනම් වන්නේ ගැහැනුන්ගේ ගෘහනීකරණය මතයි.

 
මේ අන්දමින් කුඩා සුදු මිනිසා ද පවුල නම් වූ තම ‘යටත් විජිතය’ හා ගෘහස්ථගත ගෘහනිය හිමි කර ගත්තේ ය.  අවසානයේදී දේපල අහිමි නිර්ධන පංතිය පුරවැසියාගේ ‘ශිෂ්ට’ තත්වයට පත් වූ බවට මෙය සලකුණක් විය. එ් අනුව ඔහු ‘සංස්කෘතික පංතියක’ පූර්ණ සාමාජිකයෙක් විය. කෙසේ වතුදු, මේ නැගීම සඳහා ගෙවන ලද මිළ වූයේ තම පංතියේ ගැහැනුන් යටපත් කර ගැනීම හා ගෘහනීකරණයයි. කම්කරු පංතිය වෙත දීර්ඝ කරන ලද ධනේශ්වර නීතියෙහි අරුත වූයේ දේපල අහිමි මිනිසා ද පවුල තුළ ස්වාමියා හා හාම්පුතා වන බවයි.
මගේ ප‍්‍රවාදය නම්, මෙම යටත්විජිතකරණ හා ගෘහනීකරණ කි‍්‍රයාවලි දෙක සමීපව එකට වෙලී ඇති බවයි. පූර්වයෙහි සෘජු යටත් විජිත ලෙස ද, දැන් නව ජාත්‍යන්තර ශ‍්‍රම විභජනය ලෙසද ඉදිරියට යන සූරාකෑමෙන් තොරව ‘අභ්‍යන්තර යටත් විජිතය’ හෙවත් න්‍යෂ්ටික පවුල හා පිරිමි ආදායම් උපදවන්නකු විසින් නඩත්තු කරන ගැහැනියක ස්ථාපිත කර ගැනීම හැකි නොවන්නට ඉඩ තිබිණි.
පරිවර්තනය
අජිත් පැරකුම් ජයසිංහ

No comments:

Post a Comment