Sunday, January 30, 2011

යටත්විජිතකරණය හා ගෘහනීකරණය ( 04 )

මෙම ලිපිය අප විසින් ප‍්‍රකාශයට පත් කෙරුනු ඉතිහාස සඟරාවේහි ඵල කරන ලද්දකි. මේ හරහා යටත් විජිතකරණය සම්බන්ධයෙන් මාරියා මීස් හෙලන තියුනු ස්ත‍්‍රීවාදී බැල්ම පුලූල් අවකාශයක් තුළ සාකච්ඡා වීම වැදගත් යැයි අප සිතමු. මේ නිසා මෙම ලිපිය අපගේ බ්ලොග් අඩවියෙහි කොටස් වශයෙන් නැවත පලකරමු. 
 

යටත්විජිතකරණය හා ගෘහනීකරණය (IV – කොටස)

යටත්විජිතවාදය යටතේ ගැහැනිය


රෝඩා රෙඩොක් (Rhoda Reock, 1984) පෙන්වා දී ඇති පරිදි කැරිබියානු වහල් භාවය හා වහල් ගැහැනිය පිළිබඳ යටත්විජිතවාදීන්ගේ ආකල්පය පැහැදිලිවම පදනම් වූයේ ධනේශ්වර මිල -වාසි ගණනය කිරීම් මතය. වහල් ගැහැනුන්ට තවත් වහලූන් ජනනය කිරීමට ඉඩ දිය යුතු ද නැද්ද යන කාරණයේ දී මෙය විශේෂයෙන්ම සත්‍ය විය.  නූතන වහල් වෙළදාමේ හා වහල් ආර්ථිකයේ සියවස්වලදී (1655 සිට 1838 දක්වා)  මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයුණේ ‘මාතෘභූමිවලදී’ අදාළ වූ ක්‍රිස්තියානි ආචාර ධර්ම අනුව නොව, ධනේශ්වර වැවිලි කරුවන්ගේ සමුච්ඡකරණ අවශ්‍යතා අනුව ය. මේ අනුව, 1655 සිට 18වන සියවස මුල දක්වා වූ මුල් කාලපරිච්ඡේදයේ දී, එනම් බොහෝ වතු වහලූන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කුඩා වගාවන් වූ සමයේ දී, වැවිලිකරුවන් යැපුණේ ගොවි ප්‍රජනන මාදිලිය තුළ හා වහල් ජනගහණයේ ස්වභාවික පුනර් ජනනය මතයි. දෙවන කාලපරිච්ඡේදය වන්නේ ඊනියා සීනි විප්ලවයේ සමය හෙවත් මහා වතුවල මහා පරිමාණ සීිනි නිෂ්පාදනය හදුන්වා දීමයි. 1760 දී පමණ ඇරඹී 1800 දක්වා පමණ පැවති මෙම  මුල් යුගයේ දී වහල් ගැහැනුන් පවුල් පන්සල් වීම හා ළමයින් වැදීම දැඩි ලෙස අධෛර්යය කරන ලදී. කතෝලික (ෆ්‍රන්ස) මෙන්ම ප්‍රොතෙස්තන්ත (බ්‍රිතාන්‍ය සහ ලන්දේසි) ආධිපත්‍යයන් යටතේ සියලූ සීනි යටත්විජිතවල තත්වය මෙය විය. ගර්භනී තත්වයට පත්වූ වහල් ගැහැනුන්ට සාප කර, පීඩාවට පත්කරන ලදී. හැරත් උක්වතුවල කොඳු කැඩෙන වැඩ ගැහැනුන්ට කුඩා දරුවන් රැක බලා ගැනීමට ඉඩ සැලසුවේ නැත. G.M.Hall මහතා කියුබානු වැවිලිකරුවන් පිළිබඳව ප්‍රකාශ කර තිඛෙන පහත සඳහන් කරුණ විසින් මෙම උත්පත්ති විරෝධී ප්‍රතිපත්තිය පසුපස පැවති හේතුව ප්‍රකාශ කෙරිණි.

ගර්භනි සමය තුළදී හා ඉන් පසුව මාස කීපයක් තුළ වහල් ගැහැනිය අප්‍රයෝජනවත් වූ අතර ඇය පෝෂණය කිරීම ද වියදම් අධික විය. මෙම ආදායම් අහිමි වීම හා අමතර වියදම දැරුණේ ස්වමියාගේ සාක්කුවෙනි. බොහෝ විට දීර්ඝ කාලීන වූ අලූත් බිළිඳුන් බලා ගැනීම වෙනුවෙන් ගෙවීමට සිදු වූයේ ඔහුටයි. වතුවල ඉපදී වැඩ කරන වියට එළඹෙන වහලකුගේ වටිනාකම වෙළඳපොලෙන් මිළ දී ගන්නා වහලෙකුට වඩා ඛෙහෙවින් අධික වීම හේතුවෙන් මෙම වියදම පිළිබඳ සැලකීම අවශ්‍ය විය.(G.M.Hall, රෙඩොක් විසින් උපුටා දක්වන ලදී, 1984:16) 

ෆන්සශ යටත් විජිතයක් වූ ශාන්ත ඩොමිනික්හි වැවිලිකරුවන් විසින් ගණනය කරන ලද පරිදි මාස 18 ක කාලය තුල වහල් ගැහැනියකගේ වැඩවල වටිනාකම Livres (ෆන්සශයේ පැරණි මුදල් එ්කකයකි) 600 ක් විය. මාස 18 ගණනය කරන ලද්දේ ගර්භනී හා කිරි දෙන  සමය වෙනුවෙනි. එම කාල පරිච්ඡේදය තුළ වහල් ගැහැනියට කළ හැක්කේ සාමාන්‍ය වැඩවලින් අඩක් පමණි. එ අනුව වහල් හිමියාට Livres 300 ක් අහිමි වේ. ‘මාස 15 ක් වයස් වන වහලෙකු මෙතරම් වටින්නේ නැත. ‘(G.M.Hall, රෙඩොක් විසින් උපුටා දක්වන ලදී, 1984:16) මෙම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය ලෙස, බොහෝ නිරීක‍ෂකයන් විසින් සොයාගෙන ඇති පරිදි, මෙම යුගයේ සිට 19 වන සියවස දක්වාම වහල් ගැහැනුන්ගේ ‘සරුභාවය’ අතිශය පහත් මට්ටමක පැවතිණි.  (රෙඩොක්, 1984) 

18 වන සියවස අග හරිය වන විට, බටහිර අප්‍රිකාව තව දුරටත් වහල් දඩයම සඳහා තෝතැන්නක් වුයේ නැත. එසේම, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් දුටුවේ අපි්‍රකාව අමුද්‍රව්‍ය හා වානිජ මූලාශ්‍රයක් ලෙස තම අධිකාරයට ඈඳා ගැනීම වඩාත් ලාභදායී බවයි. මේ අනුව බ්‍රිතාන්‍ය ධනපති පංතියේ වඩත් ‘ප්‍රගතිශීලි’ කොටස වහල් වෙළදාම අහෝසි කිරීමට උපදෙස් දුන් අතර, 1807 දී එය සිදු විය. ඔවුහු ස්වදේශික බෝ කිරීමට දිරි දුන්හ. එහෙත් මෙම හදිසි ප්‍රතිපත්තිමය වෙනස වහල් ගැහැනුන්ට බලපෑවේ මඳ වශයෙනි. රෝඩා රෙඩොක් පෙන්වා දී ඇති පරිදි වහල් භාවයේ දිගු කාලපරිච්ඡේදය තුළ වහල් ගැහැනු මාතෘ විරෝධී ආකල්පයක් තුළ වැඩුණ හ. එය වහල් ක්‍රමයට ප්‍රතිරෝධයක් විය. 19වන සියවසේ මැද භාගය පමණ දක්වා ඔවුහු උපත් වර්ජනයක් වැන්නක් ක්‍රියාත්මක කළහ. ගැබ් ගැනිමක් සිදු වු විට එය ගබ්සා කර ගැනීම සඳහා ඔවුහු ශාඛමය විෂ ඛෙහෙත් ගත් හ. අලූත උපන් බොහෝ බිළිඳුන් ‘ස්වාමියාගේ ධනවත් වීම වෙනුවෙන් මුළු ජීවිතයම මහන්සි වී වැඩ කිරිමට ඉරනම් වී තිඛෙන වහලූන් ලෙස ඔවුන් වැඩීම කෙරෙහි ඇති ගැහැනුන්ගේ ස්වභාවික අකමැත්ත හේතුවෙන්’ මිය යාමට ඉඩ හරින ලදී. (Morino-Fraginals 1976, රෙඩොක් විසින් උපුටා දක්වන ලදී, 1984:17) රෝඩා රෙඩක් දකිනා පරදි මෙය වනාහි ‘පාලක පංතියේ දෘෂ්ටිවාදය, වෙනස්, එහෙත් සම්බන්ධිත භෞතික හේතු මත පීඩිතයන් විසින්ද පිළි ගනු ලැබු දෘෂ්ටිවාදය වීමකි.’ (රෙඩොක්, 1984:17)


ධනපති ප්‍රාග්ධන සමුච්චකරණය සඳහා අවශ්‍ය නිෂ්පාදන තත්වයක් ලෙස අප්‍රිකානු ගැහැනුන්ට සැලකීමේ විපාක දැන් යටත් විජිත ස්වාමීහු භුක්ති වින්දහ. කැරිබියානු කලාපයේ වතුවල ශ්‍රම හිඟය වහල් ගැහැනුන්ගේ උපත් වර්ජනය හේතුවෙන් බරපතල ප්‍රශ්නයක් වු අතර කියුබාවේ මිනිසුන් බෝ කිරීම ස්ථීර ව්‍යාපාරයක් බවට පත් විය. (Morino-Fraginals 1976, රෙඩොක් විසින් උපුටා දක්වන ලදී, 1984:18) වහල් ගැහැනුන්ගේ පුනර්ජනන ධාරිතාවන් පිළිබඳ යටත් විජිතකරුවන්ගේ ප්‍රතිපත්තිමය වෙනස රෝඩා රෙඩෙක් පහත සඳහන් ආකාරයට සාරාංශගත කරයි.
‘අප්‍රිකාව මානව ශ්‍රමය නිපදවීමේ ස්ථානයක් ලෙස පමණක් ධනේශ්වර ලෝකයට යා කර තබා ගත් තාක් කල්, ශ්‍රමය ස්වදේශිකව නිපදවීමේ අවශ්‍යතාවක් නොතිබිණි. මිල-වාසි  විශ්ලේෂණය හරහා වැවිලිකරුවෝ වඩාත්ම ලාභදායී ක්‍රියාමාර්ගයට එළඹුණ හ. එය තවදුරටත් ඔවුනට ලාභදායී නොවු විට, තම තත්වය වතු හිමියන්ගේ දේපලක් වීම බව දත් වහල් ගැහැනුන් විසින් දක්වන ලද ප්‍රතිරෝධයෙන් මවිත වූ හ. උපත් පාලන හැකියාවන් මගින් වසර 100කටත් වඩා බිරින්දන් හා මවුන් නොවී සිටි කැරිබියානු ගැහැනුන්ට වතු ආර්ථීකයට දැඩි බලපෑමක් කිරීමේ හැකියාව තිබිණි.’(රෙඩොක්, 1984:18) වහල් ගැහැනුන්’ බිරින්දන් හා මවුන් නොවී සිටි’ කාල පරිච්ඡේදය වනාහි යුරෝපය ගැහැනිය ගෘහස්ථකරණය කෙරුණ හා පති භක්තිය හා මාතෘත්වය ඔවුන්ගේ ‘ස්වාභාවික’ කාර්යය බවට දෘෂ්ටිවාදිමය ලෙස සලකුණු කෙරුණ යුගය ම විය.  (Badinter, 1980) එක් ගැහැනු කණ්ඩායමක් ශද්ධ ශ්‍රම බලකායක් හෙවත් ශක්ති ප්‍රභවයක් ලෙස සැලකෙද්දි තවත් ගැහැනු කණ්ඩායමක් නිෂ්පාදනයට සම්බන්ධ නැති, බෝ කරන්නියන් පමණක් ලෙස සැලකිණි.
19 වන සියවස අග භාගයේ දී යටත් විජිතකරුවන් කැරිබියානු කලාපයේ පැරණි වහල් ජනයාට න්‍යෂ්ටික පවුල හා එ්ක පුරුෂ විවාහය හදුන්වා දීමට දැරූ මහත් වෙහෙස ඇත්තෙන්ම ඉතිහාසයේ සරදමක් විය. එහෙත් ගැහැනු මෙන්ම පිරිමිද මෙම ආදර්ශයන් අනුගමනය කිරීමෙහි වාසියක් නොදුටු අතර. විවාහය ප්‍රතික‍ෂ්ප කළ හ. යටත් විජිතකරුවන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය ඔවුනටම පාරාවළල්ලක් විය.  වහලූන් නිදහසේ සූරා කෑම සඳහා සියවස් ගණනක් තිස්සේ ඔවුහු වහලූන් මානුෂිකත්වයෙන් හා ක්‍රිස්තියානියෙන් බැහැර කළ හ.  නීග්‍රෝවරුන් යූරෝපීයයන් අයත් වන ප්‍රභේදයට ම අයත් නොවන බව ප්‍රකාශ කළ ජනවර්ගවේදීහු මෙයට උදව් කළ හ. (Caldicott 1970:67) මේ අනුව, වහලූන්ට ක්‍රිස්තියානීන් වීමට බැරි විය. මක් නිසාද යත්, එංගලන්ත පල්ලිය අනුව, කිසිදු ක්‍රිස්තියානුවකු වහලකු වන්නට බැරි ය.

1780 දී පමණ නව වහල් නීති සංග්‍රහය වහලූන් අතර විවාහය දිරි ගන්වන්නට පටන් ගත්තේය. වහල්ලූ මෙම ඉහළ පෙළේ නීති සමච්චලයට ලක් කරමින් තම ‘පොදු නීති’ සංගම් අනුවම දිගටම කටයුතු කළ හ.  එ් අනුව ඕනෑම ගැහැනියකට අසීමිත කාලයක් මිනිහෙකු සමග සිටිය හැකි විය. පිරිමියාට ද එසේම විය. වහල් ගැහැනුන් විවාහ බන්ධනය දුටුවේ තමන් එක් මිනිහෙකුගේ පාලනයට යටත් කරන දෙයක් ලෙස ය. ඔහුට ඇයට පහර දීමට වුව බලය තිබිණි. පිරිමින්ට එක් බිරිඳකට වඩා උවමනා වූ අතර, එහෙයින් විවාහය ප්‍රතික්ෂේප කරන ලදී. පල්ලියේ ඉතිහාසඥයකු වන කැල්ඩිකෝට් අවසානයේදී, නීග්‍රෝවන් තුළ ශිෂ්ටත්වයේ වාසි කෙරෙහි ඇති මෙම ප්‍රතිවිරෝධයට හේතුව ලෙස සොයා ගත්තේ, ඔවුනට තම ලිංගික ආශාවන් පාලනය කර ගත නොහැකි බවයි. එහෙයින් ඔවුන් ස්ථාවරත්වය පිලිකෙව් කළහ. ‘එම තත්වය ගැහැනු, පිරිමි දෙපාර්ශවයට ම පොදු විය.  නීග්‍රෝ ජාතිය තුළ යුරෝපීය ජාතීන්ට වඩා ලිංගික සාමානත්වයට ඉඩක් තිබිණි……. (රෙඩොක් විසින් උපුටා දක්වන ලද කැල්ඩිකෝට්, 1984: 47) ‘ලිංගික සමානත්වය’ පසුගාමී ප්‍රාථමික ජාතීන්ගේ ලක‍ෂණයක් ලෙස සැලකුණ අතර, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගේ ශිෂ්ටකරණ දූත මෙහෙවරෙහි අංගයක් වූයේ යටත් විජිත ගැහැනුන්ගේ ස්වාධීනත්වය බිඳ දැමීම හා යටත් විජිත පිරිමින්ට ස්තී්‍රන් හෙලා දැකීමේ හා යුදවාදයේ අගය වටහා දීමයි. ත‍සැකාසබට Fielding Hall නැමැත්තකු විසින් ලියන ලද People at School නම් ග්‍රන්ථයෙහි මෙය පැහැදිලිව වර නගා තිබේ. හෝල් වනාහි 1887-91 සමයේ බුරුමයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ දේශපාලන නිලධාරිවරයා ය. බුරුම ගැහැනුන්ගේ ස්වාධීනත්වය, ලිංගික සමානත්වය හා බුරුම ජනතාවගේ සාමකාමිත්වය විචිත්‍ර ලෙස විස්තර කරන හේ එය බුදුදහමෙහි බලපෑම මත වූවක් ලෙස දක්වයි.  එහෙත් එවන් ප්‍රිතිමත් සමාජයක් සුරක‍ෂා කරනු වෙනුවට පෝල් නිගමනය කරනුයේ බුරුමය බලහත්කාරයෙන් ප්‍රගතියේ මාවත වෙත ඇද ගත යුතු බවයි. ‘එහෙත් අද නීති අපගේ ය. බලය පාලනය වේ. අපගේ යටත් වාසීන් වෙනුවෙන් අප පාලනයේ නියැලෙන අතර අප එය කරන්නේ අපට ඕනෑ පරිදි ය.  මෙහි අපගේ සමස්ත පැවැත්ම ම ඔවුන්ගේ ආශාවන්ට එරෙහි ය.’ ඔහු බුරුම ජනයා ශිෂ්ට කිරීම උදෙසා පහත සඳහන් ක්‍රියාමාර්ග යෝජනා කරයි.

01. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් වෙනුවෙන් මැරීම හා සටන් කිරීම පිරිමින්ට උගැන්විය යුතුය. අපගේ යුද්ධවලදී තමන්ගේ ලෙස හඳුන්වාගත හැකි රෙජිමේන්තුවක් ගොඩනගා දීම හැර බුරුම ජනයාට කළ හැකි වඩා හොඳ දෙයක් මට සිතිය නො හැක.  එය ජීවිතය පිළිබඳ නව දර්ශනයන් වෙත ඔවුන්ගේ ඇස් විවර කරනු ඇත. (A people at School, පිටුව 264)

02. ගැහැනුන්, මිනිසුන්ගේ අවශ්‍යතා උදෙසා තම ස්වාධීනත්වය පාවා දිය යුතුය.

ලිංගික සමානත්වය පසුගාමිත්වයේ ලක‍ෂණයක් ලෙස සලකා මෙම යටත් විජිත පාලකයා මෙසේ  අනතුරු අඟවයි. ‘මෙම පසුගාමිත්වය පසුබැස්සවීමට නම්, බුරුම ජනයා මැරීම, යුද්ධය හා ගැහැනුන් පීඩාවට පත් කිරීම උගත යුතුය.  පෝල්ගේ වචනයෙන්ම කිවහොත් ‘රෝගී ශරීරයට ශල්‍ය වෛද්‍යවරයාගේ සැතින් කරන දෙය රෝගී ජාතීන්ට සොල්දාදුවන්ගේ කඩුවෙන් කළ යුතුය.’
 
මිනිසා නම් දඩයක්කාරයා පිළිබඳව මෙම දෘෂ්ටිවාදය ආරක‍ෂා කිරීම සඳහා ඔහු ජනවර්ගවේදීන්ගේ සහය ද පතයි. ‘බුරුමයේ  තවමත් ප්‍රමාණවත් පරිදි ගැහැනිය හා මිනිසා අතර වෙනස සලකුණු කර නැත. එය තරුණ ජනවර්ගයකගේ ලක‍ෂණයකි. ජනවර්ගවේදීහු එ් බව අපිට පසක් කරති.  පැරණිතම ජනතාවන් අතර මෙම වෙනස ඉතා සුළු ය. ජන වර්ගයක් වර්ධනය වන විට මෙම වෙනස ප්‍රබල වෙයි.’

මීළගට පෝල් විස්තර කරන්නේ බුරුම ගැහැනිය අවසාන වශයෙන් ශිෂ්ට, යටහත් ගෘහනියකගේ තත්වයට පිරිහෙළන ආකාරයයි.  කලින් ගැහැනුන් අත තිබුණ දේශීය ගෘහ කර්මාන්ත එංගලන්තයෙන් ආනයනිත භාණ්ඩ විසින් විනාශ කරන ලදී. ගැහැනුන්ව වෙළඳාමෙන් ද ඉවත් කරන ලදී.  ‘රැංගුන්හි සුවිසල් ඉංග්‍රීසි වෙළදසල් විසින් ගැහැනුන් ස්වාධීනව ජීවනෝපාය සලසා ගත් කඩ වීදි යටපත් කරනු ලැබේ.’

ගැහැනුන්ගේ ආර්ථීක ස්වාධීනත්වය අහිමි කිරීමෙන් අනතුරුව පෝල් දකින්නේ විවාහය හා දේපල උරුමය පිළිබඳ නීති ද වෙනස් කළ යුතු බවයි.  එමගින් බුරුමය ද පිරිමින් විසින් පාලනය කරනු ලබන ‘ප්‍රගතිශීලි’ භූමියක් බට පත් කිරීමට අදහස් කෙරිණ. තම ස්වාධීනත්වය ප්‍රගතියේ මාවතට හරස් කපන්නක් බව ගැහැනුන් විසින් වටහා ගත යුතුව තිබුණි.
‘ඇයගේ ස්වාධීනත්වයේ බලය සමග ඇගේ නිදහස් කැමැත්ත හා බලපෑම ද අතුරුදහන් වේ. ඇය සිය ස්වාමියා මත යැපෙන විට, ඇයට තව දුරටත් ඔහුට අණ දීමට නොහැකි ය.  ඔහු ඇය පෝෂණය කරන කල්හි, ඇයට තව දුරටත් ඇගේ හඩ ඔහුගේ තරම් ශබ්ද නගා මතු කළ නොහැකි ය. ඇයගේ පසුබෑම නොවැළැක්විය හැකි ය.  ජයග්‍රාහී ජාතීහු වන්නේ ස්ත්‍රී ස්වරූපි ජාතින් නොව, පුරුෂ ස්වරූපි ජාතිහු ය.  එතරම් දුර නොයන්නේ නම් පමණක් ස්ත්‍රීන්ගේ බලපෑම හොඳ ය.  එහෙත් මෙහි සිදු වී ඇත්තේ එය නොවේ.  එය මිනිසාට සේම ගැහැනියට ද නරක ය.  උවමනාවට වඩා ස්වාධීන වීම ගැහැනියට කිසි කලක හොඳ වන්නේ නැත. එයින් ඔවුන්ගේ බොහෝ ගුණ ධර්ම අහිමි වේ. බිරිඳ සහ පවුල වෙනුවෙන් වැඩ කිරීම මගින් මිනිසා වර්ධනය කරනු ලැබේ. එයින් ඔහු මිනිසකු කරනු ලැබේ.  ගැහැනියකට ස්වාධීනව පැවැත්මට හැකි වීම හා ඇවැසි නම් සිය සැමියා ද රැක ගැනීමට හැකි වීම චිත්ත ධෛර්යය සිඳලන සුළු ය. (A People at School, පිටුව 266)

කැරිබියානු කලාපයට ගෙන එන ලද ගැහැනුන් වහලූන් බවට පත් කරනු ලැබුවේ ඔවුන් පසුගාමී හෝ අඩුවෙන් ‘ශිෂ්ඨ’ හෝ නිසා නොවේ. එ් වෙනුවට වහල් සමය විසින් ඔවුන් මිලේච්ඡයන් බවට පත් කරන ලද වග දැන් බටහිර අප්‍රිකාවේ ගැහැනුන් පිළිබඳව පර්යේෂණ වලින් පෙනී ගොස් තිබේ. නිදසුනක් ලෙස 18 වන සියවසේ සෙනෙගාලයේ වෙළෙන්දියන් පිළිබදව ජෝර්ජ් බෘෘක් විසින් ලියන ලද කෘතියෙන් පෙන්වා දෙන පරිදි විශේෂයෙන්ම වොලොෆ් ගෝත්‍රයේ මෙබඳු ගැහැනු පූර්ව යටත් විජිත බටහිර අප්‍රිකානු සමාජයේ ඉහළ ස්ථානයක් හෙබවු හ. වෙලඳ භාණ්ඩ සොයාගෙන සෙනෙගාලයට සපැමිණි මුල් කාලීන පෘතුගීසි හා ෆන්සශ වෙළෙන්දෝ මෙම බලවත් ගැහැනුන්ගේ සහයෝගය හා කීිර්තිය මත සපුරා ම යැපුණ හ.  ඔවුහු මෙම යුරෝපීය මිනිසුන් සමග ලිංගික හා වෙළෙඳ සන්ධානවලට එළඹුණ හ.  තම කලාපයේ පහත් ප්‍රදේශ සමග වෙළඳාමෙන් ඔවුහු සෑහෙන ධනයක් උපයාගෙන තිබුණ හ. එපමණක් නොව, ඔවුන්ගේ ජීවන විලාසයෙන් කෙතරම් සංස්කෘතික වී තිබිණ ද යත්, සුන්දරත්වය හා රූපය ගැන කෙතරම් සංවේදී වී ද යත්, ඔවුන් මුලින්ම මුණ ගැසුණ යුරෝපා දේශ ගවේශකයෝ විමතියෙන් මුව ගොළු වූ හ. බ්‍රිතාන්‍ය නෞකාවක දේව ගැතිවරයෙකුවූ ජෝන් ලින්ඩ්සේ පිනමගේ සටහනක් බෘෘක්ස් උපුටා දක්වයි.

‘ඔවුන්ගේ ගැහැනු, විශේෂයෙන්ම නෝනාවරු (සෙනාලයේ බොහෝ දෙනෙක් මෙබඳු වුහ.) පුදුම සිතෙන අන්දමින් සුන්දර වූ හ. ඔවුනට සියුම් අංග ලක‍ෂණ තිබිණි. පුදුම සිතෙන අන්දමට ඔවුහු නම්‍යශීලී ය. ගතිගුණ ද කතාබහින්ද ඉතා විනීත ය. තමන්ව පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම අතින් ඔවුහු හැම අතින් ම යුරෝපීයයන් අභිභවති.  (වහලූන්ගේ වනචාරී කම්මැලිකම නිසා මේ පිළිබඳ අප තුළ ගොඩ නැගී තිබන්නේ වෙනත් අදහසකි.) ඔවුහු දිනකට දෙවරක් නාති.’ (Brooks, 1976:24)

වෙළෙන්දන් සහ සොල්දාදුවන් ලෙස මුලින්ම බටහිර අප්‍රිකාවට පැමිණි පෘතුගීසි හා ෆ්‍රන්ස  යුරෝපීය මිනිස්සු සාමාන්‍යයෙන් ආවේ බිරින්දන් සහ පවුල් නොමැතිව තනිවම ය.  ‘නෝනාවරුන්’ හා ‘වෙළෙන්දියන්’ සමග ඔවුන්ගේ සන්ධාන ඔවුනට කෙතරම් ආකර්ශනීය වී ද යත්, ඔවුහු වොලොෆ් ගෝත්‍රික ශෛලියට අනුව මෙම ගැහැනුන් විවාහ කර ගත් හ.  බොහෝ විට අප්‍රිකානු ජීවන විලාසයට අවනත වූ හ. යුරෝ අප්‍රිකානුවන් වු ඔවුන්ගේ දරුවෝ බොහෝ විට යටත් විජිත සමාජයේ උසස් තැන් හෙබවූ හ. බටහිර අප්‍රිකානු ගැහැනුන් සමග ලිංගික හා විවාහ සබඳතා පිළිබඳ ජාතිවාදී පූර්ව විනිශ්චයන්ගේ දැඩි බලපෑමකට ලක් ව නො සිටි මෙම යුගයේ යටත් විජිතකරුවෝ මෙම සන්ධාන ලාභදායී පමණක් නොව මානුෂිකව තෘප්තිකර එවා ලෙස ද සැලකූ හ.


බටහිර අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයත් සමග ම අපිකානු ගැහැනුන් පිළිබඳ මෙම සරළ කතෝලික ආකල්පය වෙනස් විය. තව දුරටත් අප්‍රිකානු ගැහැනුන් සමග සබඳතාවනට නො ගිය බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ හා වෙළෙන්දෝ අප්‍රිකානු ගැහැනුන් ගනිකාවන් බවට පත් කළ හ. ජාතිවාදය නිසි ලෙස පිංතූරයට කාවදින ඓතිහාසික මොහොත මෙයයි. තත්වයෙන් පිරිහෙළන ලද අප්‍රිකානු ගැහැනිය ඉංග්‍රීසි යටත් විජිතවාදීන්ගේ ගනිකාවක් බවට පත් කරන ලදී. සුදු පිරිමියාගේ වාර්ගික අධිපතිවාදය හා අප්‍රිකානු ගැහැනියගේ ‘වනචාරිත්වය’ පිළිබඳ න්‍යාය ගොඩනැගුණේ මෙම සමයේදී ය. බ්‍රිතාන්‍ය යටත් විජිත ඉතිහාසය මෙම කාරණාවලදී ලන්දේසි ඉතිහාසය තරම්ම විචක‍ෂණශීලි විය. එහෙත් බෘෘක්ස් පවසන්නේ සෙනෙගාලයට අදාළ වූ තත්වය ගැම්බියාවේ මුල් බැසගෙන නොතිබුණ බවකි.

‘බ්‍රිතාන්‍යයෙන් ඇදී ආ මහ පිරිස් අතුරින් වෙළෙන්දන් හෝ රාජ්‍ය නිලධාරීන් හෝ යුද නිලධාරීන් හෝ වූ බොහෝ අය යුරෝ අප්‍රිකානු සහ අපි්‍රකානු ගැහැනුන් සමග එළිපිට ජීවත් වීමේ ‘නිසි’ බ්‍රිතාන්‍ය හැසිරීමෙන් විතැන් වූ හ. ඔවුන් රහසිගතව කළ දේ මෙහිදි අදාළ නොවේ. බ්‍රිතාන්‍ය පාලකයින් එවැනි කාරණා පිළිබද විචක‍ෂණශීලි වු නමුදු වෙළෙන්දන්ගේ සහ ‘නෝනාවරුන්ගේ’ පවුල් සංස්ථා වෙනුවට බටහිර අප්‍රිකාවේ හැමතැනම දක්නට ලැඛෙන ආකාරයේ මුල් රහිත අවිවාහක ප්‍රජාවක් වර්ධනය වන ආකාරය වටහා ගත හැකි ය. විවෘත හා පසුතැවිල්ලකින් තොර ජාතිවාදය මෙම ප්‍රජාවේ එක් ලක‍ෂණයකි. තවත් දෙයක් වන්නේ නොසැලකිලිමත් සූදුව හා බේබදුකමයි.’ (Brooks, 1976:43)

මෙම විස්තරයෙන් වෝල්ටර් රොඩ්නිගේ ‘යුරෝපය විසින් අපි්‍රකාව ඌන සංවර්ධිත කරන ලදී’ යන ප්‍රවාදය සනාථ වේ. එපමණක් නොව, අපගේ ප්‍රධාන තර්කය වන යටත් විජිතකරණ කි්‍රයාවලිය ඉදිරියට යද්දී යටත් විජිත ජනතාව කලින් ඔවුන් හෙබවූ බලවත් ඉහල ස්ථානයකින් හා ස්වාධීනත්වයකින් එකී ‘වනචාරී’ හා පහත හෙළන ලද ‘ස්වභාවයට’ පිරිහෙළන ලද බවද සනාථ වේ. 
 
වහලූන් ලෙස කැබිරියානු කලාපයට ගෙන ආ ගැහැනුන් ‘ආපසු’ සොබාදහමට අර්ථකතනය කිරීම හෙවත් ‘ස්වභාවිකකරණය’ ඇතැම් විට යුරෝපයේ යටත් විජිතකරණයේ දෙබිඩි කුහක ස්වභාවයට පැහැදිලි ම සාක්කි වේ. අප්‍රිකානු ගැහැනුන්ට ‘ම්ලේච්ඡයන්’ ලෙස සලකන අතරතුර සුදු යටත්විජිතකරුවන්ගේ පීතෘ භූමිවල ගැහැනුන් ‘නෝනාවරුන්ගේ’ තත්වයට උසස් වූහ.  මෙම ක්‍රියාවලි දෙක එකිනෙකට සමාන්තරව සිදු වූයේ නැත. එවා පීතෘමූලික ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ අභ්‍යන්තරයෙන්ම එකට බැඳී ඇත. මේ අන්දමින් ‘ම්ලේච්ඡ’ හා ‘ශිෂ්ට’ ගැහැනුන් නිර්මාණය කිරීම හා දෙකොටස අතර ධ්‍රැවීකරණය එදත් අදත් ධනේෂ්වර යටත් විජිතවාදය විසින් යටපත් කරන ලද ලොව අනෙකුත් කොටස්වලද සංවිධානමය ව්‍යුහාත්මක මූලර්මයක් විය. ගැහැනිය කෙරෙහි යටත් විජිත ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵල ගැන එතරම් ෙඓතිහාසික පර්යේෂණ සිදු වී නැත.  එහෙත් අප සතු සුළු සාක්ෂ්‍ය ප්‍රමාණය විසින් මෙම නිරික‍ෂණය සනාථ කරනු ලැබේ.  එමගින් යටත්විජිතකරණ ක්‍රියාවලියේ ඉහළ පහළ යාම තුළ ගැහැනිය කෙරෙහි යටත් විජිත ප්‍රතිපත්තිය වෙනස් වූ අයුරු ද පැහැදිලි වේ.  එය රෝඩා රෙඩොක් විසින් නිරීක‍ෂණය කරන ලදී.
 
මේ අනුව Annie Stoler (1982) විසින් සොයාගෙන ඇති පරිදි 20වන සියවස මුලදී ලන්දේසීහූ ලොව අනෙක් කෙළවරේ සුමාත්‍රාවේදී ගැහැනියට අදාළව මේ හා සමාන දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළහ.
‘වැවිලි ව්‍යාප්තියේ එක් සංධිස්ථානයකදී, නිදසුනක් ලෙස අවිවාහක පිරිමි කම්කරුවන්ගේ හා කළමණාකාරිත්වයේ අවශ්‍යතා සපිරීම ඇතුලූ ගෘහ කටයුතු සඳහා ජාවා රටින් කුලී කම්කරුවන් ලෙස බඳවා ගන්නා ලද ගැහැනුන් විශාල වශයෙන් සුමාත්‍රාවට ගෙන එන ලදී.  ගනිකා වෘත්තියට අවසර මෙන්ම අනුබල ද දෙන ලදී.’ ( Stoler 1982:90)

කැබිරියානු කලාපයේ දී ෆ්‍රන්ස හා ඉංගී්‍රසි යටත්විජිතකරුවන්ගේ සේම, මෙම වැවිලිකරුවන්ගේද අරමුණ වූයේ ලාභ උත්පාදනයයි. ඇනී ස්ටෝලර් සඳහන් කරන පරිදි, ගැහැනිය කෙරෙහි ලන්දේසි යටත් විජිත ප්‍රතිපත්තියේ ඉහළ පහළ යාම මෙමගින් පැහැදිලි කෙරේ.  යටත් විජිත වාර්තාවල විවාහ ගිවිසුම්, අසනීප, ගනිකා වෘත්තිය හා කම්කරු ආරවුල් පිළිබඳ සඳහන් වන්නේ ලාභයට අදාළවයි.  සියවසේ මුල් දශක දෙක තුළදී විවාහක කම්කරුවන් මිල අධික ලෙස සලකන ලද හෙයින් විවාහක ගිවිසුම් ලබාගැනීමට දුෂ්කර විය. ( Stoler 1982:97)

පැහැදිලිව ම ගැහැනුන් ගනිකාවන් බවට පත් කිරීම මිළ අඩු විය.  එහෙත් උතුරු සුමාත්‍රාවේ ගැහැනු කම්කරුවන්ගෙන් හරි අඩක් පමණ සමාජ රෝගවලින් පෙළෙන්නට පටන් ගත් විට, වතු කම්කරුවන් අතර විවාහය දිරිගැන්වීම වඩා ලාභදායී විය. මෙය සිදු වූයේ 1920, 1930 දශකවලදී ය. මුල් අවධියේදී සංක්‍රමණික ගැහැනුන් වතුවල බර වැඩට පමණක් යෝග්‍ය වූ අතර, දැන් ගෘහනීකරණ ක්‍රියාවලියක් තුළ පදිංචිකාර ගැහැනුන් වතුවල වැටුප් ශ්‍රමයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලියක් දියත් වේ.  Stoler ලියන පරිදි;

‘වතු වගා ඉතිහාසයේ එකිනෙකට වෙනස් ආර්ථීක ද දේශපාලනික සංධිස්ථානවලදී වැවිලිකරුවන් විවාද කළේ;

1.    දරුවන් වැදීම හා ඔසප් වීම වෙනුවෙන් ගතකළ කාලය හේතුවෙන් ගැහැනු කම්කරුවන් නඩත්තු කිරීම වියදම් අධික විය:
 
2.    ගැහැනු බර වැඩ කිරීම යෝග්‍ය නැත. ඔවුනට එ්වා නොහැක:

3.    ගැහැනුන් වඩා යෝග්‍ය අත්වැඩවලටය: යන කරුණු තුනය. ( Stoler, 1982:98)
 
‘දුර්වල ගැහැනිය’ පිළිබඳ මෙම රූපය හදුන්වා දීම පැහැදිලි දෘෂ්ටිවාදීමය ප්‍රවණතාවක් වු අතර, එය ගැහැනුන්ගේ වැටුප් පහත හෙලීමේ හා අත්වැඩකාරී ස්තී්‍ර ශ්‍රමයක් නිර්මානය කිරීමේ ආර්ථීක අරමුණට සේවය කළ බවට සංඛ්‍යා දත්ත දෙස් දෙයි. එ් අනුව 1903 කුලීකරුවන්ගේ අයවැය වාර්තාවේ සඳහන් වන පරිදි, ගර්භනීභාවය හේතුවෙන් අහිමි වන්නේ පවත්නා ශ්‍රමයෙන් 1% ක් පමණි. (Stoler,1982:98)

ඇගේ අධ්‍යයනයේ පසු කොටස්වලදී රෝඩා රෙඩොක් පවා මෙම ක්‍රියාවලිය පිළිබඳ පෘථුල සාක්කි සපයයි. එනම්, ගැහැනුන් වැටුප් ශ්‍රමයෙන් බැහැර කර, ඔවුන් ‘යැපෙන්නන්’ ලෙස අර්ථකතනය කිරීමයි. මෙය මේ  කාලයේදීම ට්‍රිනිඩෑඩ් නම් බ්‍රිතාන්‍ය යටත් විජිතයෙහි ද සිදු විය. (රෝඩා රෙඩොක්, 1984)
 
ලන්දේසි යටත් විජිතකරුවන්ට ද ලාභ උත්පාදනය පරම අරමුණ විය. තමන්ගේ රටවල ‘ශිෂ්ට’ ගැහැනුන් හා සුමාත්‍රාවේ ‘ම්ලේච්ඡ’ ගැහැනුන්  කෙරෙහි පවත්වන ලද ප්‍රතිවිරුද්ධ වටිනාකම් සහ ප්‍රතිපත්ති විසින් මෙය වඩාත් හොදින් තහවුරු කෙරේ. මේ අයුරින් ගැහැනු කණ්ඩායම් දෙකකට එකිනෙකට හාත්පසින් වෙනස් වටිනාකම් මත සැලකීම ඔවුන්ගේ හෘදය සාක‍ෂියට ගැටළුවක් වූ බව නො පෙනේ. ගැහැනුන් ගනිකාවන් ලෙස බඳවා ගැනීම තවදුරටත් ලාභදායී නොවු කල්හි පමණක් ගනිකා වෘත්තිය පොදු ප්‍රශ්නයක් බවට පත් විය. මෙහිදී ද අපට අවධාරණය කිරීමට ඇත්තේ තම රටේදී පවුලට හා ගෘහයට අවධානය යොමු කරමින් ලන්දේසි ගෘහනිය මතු කිරීම හුදු කාලීන සමපාත වීමක් නොව ලන්දේසි යටත් විජිතවල වතු කම්කරුවන් අතර පවුල් හා ගෘහ විනාශ කිරීම සමග සම්බන්ධ ක්‍රියාවක් බවයි.
 
පරිවර්තනය
අජිත් පැරකුම් ජයසිංහ

No comments:

Post a Comment