Sunday, January 30, 2011

යටත්විජිතකරණය හා ගෘහනීකරණය ( 05 )

මෙම ලිපිය අප විසින් ප‍්‍රකාශයට පත් කෙරුනු ඉතිහාස සඟරාවේහි ඵල කරන ලද්දකි. මේ හරහා යටත් විජිතකරණය සම්බන්ධයෙන් මාරියා මීස් හෙලන තියුනු ස්ත‍්‍රීවාදී බැල්ම පුලූල් අවකාශයක් තුළ සාකච්ඡා වීම වැදගත් යැයි අප සිතමු. මේ නිසා මෙම ලිපිය අපගේ බ්ලොග් අඩවියෙහි කොටස් වශයෙන් නැවත පලකරමු. 
 
යටත්විජිතකරණය හා ගෘහනීකරණය ( V – කොටස )
 
ජර්මානු යටත්විජිතකරණය තුළ ගැහැනිය. 

ගැහැනුන් හා අදාළ බි‍්‍රතාන්‍ය හා ලන්දේසි යටත් විජිත ප‍්‍රතිපත්ති පිළිබඳව පහත දක්වන ලද උදාහරණ ප‍්‍රධාන වශයෙන් පෙන්වා දෙන්නේ පිංතූරයේ යටත් විජිත පාර්ශවයයි. Martha Mamozai ගැහැනිය කෙරෙහි ජර්මානු යටත්විජිතවාදයේ බලපෑම පිළිබඳ කරන ලද අධ්‍යයනය පාදක කර ගත් පහත සඳහන් උදාහරණය තුළ ආපසු තම රටේ දී මෙම කි‍්‍රයාවලිය ගැහැනියට බලපාන ආකාරය අඩංගු වේ. යටත්විජිතකරණයේ හා ගෘහනකරණයේ දෙබිඩි ස්වභාවය පූර්ණව අවබෝධ කර ගැනීමට මෙම විස්තරය අපට උපකාරී වනු ඇත.


ජර්මනිය මංකොල්ලයේ හා ලෝකය බෙදා ගැනීමේ තරඟයට ඇතුල් වූයේ තරමක් පසුකාලීනවයි.  ජර්මානු යටත් විජිත සමාජය පිහිවන ලද 1884 සිට පළමු ලෝක යුද්ධය දක්වා, විශේෂයෙන්ම අපි‍්‍රකාවේ, ජර්මානු යටත් විජිත පිහිටුවීම ජර්මානු රජය විසින් දිරිගන්වන ලදී. මැමොසායිගේ අධ්‍යයනය විසින් පෙන්වා දෙන පරිදි යටත් විජිතකරණය ගැහැනුන්ටත් පිරිමින්ටත් එක ආකාරයෙන් බලපෑවේ නැත. එය විසින් ධනේශ්වර ලිංගික ශ‍්‍රම විභජනය භාවිතා කර අපි‍්‍රකානුවන්ගේ ශ‍්‍රම බලය ප‍්‍රාග්ධනයේ හා සුදු මිනිසාගේ ආධිපත්‍යයට යටත් කරන ලදී.  දේශ ගවේශකයන් ආක‍්‍රමිකයන් හා යටත් විජිතකරුවන් අතර සාමාන්‍යයෙන් සිදු වූ පරිදි, 1880 ගණන්වල බටහිර අපි‍්‍රකාවට වැවිලිකරුවන් ලෙස මුලින්ම පැමිණි ජර්මානුවෝද තනිකඩයෝ වූ හ.  බටහිර අපි‍්‍රකාවේ දී ෆ‍්‍රන්ස හා පෘතුගීසි මිනිසුන් කළ පරිද්දෙන්ම ජර්මානුවෝ ද අපි‍්‍රකානු ගැහැනුන් සමග ලිංගික හා වෛවාහක සබඳතාවලට එළඹුණ හ. බොහෝ අය මෙම ගැහැනුන් සමග ස්ථිර පවුල් ගොඩනගා ගත් හ. ටික කලකට පසු දක්නට ලැබෙන්නේ මිශ‍්‍ර ලේ ඇති යුරෝ අපි‍්‍රකානු නව පරපුරක් බිහි වන ආකාරයයි. ජර්මානු පීතෘමූලික හා ධනපති පවුල් නීති අනුව ඔවුහු පූර්ණ ආර්ථික හා දේශපාලන හිමිකම් සහිත ජර්මානු පුරවැසියෝ වෙති. මෙම ප‍්‍රශ්නය පිළිබඳව ජර්මානු පාර්ලිමේන්තුවේ උණුසුම් විවාද ඇති විය. ‘මිශ‍්‍ර විවාහ’ හා ‘අවජාතකයන්’ ගැන ද සුදු ජාතියේ වරප‍්‍රසාද ගැන ද, අනෙක් පැත්තෙන් ජර්මානු වතු හා ව්‍යාපෘති වෙනුවෙන් ඇති තරම් අප‍්‍රිකානු ශ‍්‍රම බලය නිෂ්පාදනය, යටත් කිරීම් හා විනයගත කිරීම එම සංවාදවල අවධානය යොමු විය. නිරිතදිග අපි‍්‍රකාවේ ‘අවජාතක ප‍්‍රශ්නය’ ගැන ආණ්ඩුකාර Friedrich von Lindquist මෙසේ පවසයි. 

‘සුදු ගැහැනු ගණනයට වඩා සුදු පිරිමි ගහණය වැඩි වීම කණගාටුදායක තත්වයකි. එය රටේ අනාගතයට මහත් බලපෑමක් කරනු ඇත. මෙමගින් මිශ‍්‍ර සබඳතාවන්ගේ සැලකිය යුතු වැඩි වීමක් කර තිබේ. ජාතින් මිශ‍්‍ර වීමේ අයහපත් ප‍්‍රතිඵල හැරුණ කොට, දකුණු අපි‍්‍රකාවේ සුදු සුළුතරයට වර්ණ මිනිසුන් මත තම ආධිපත්‍ය පවත්වා ගත හැකි වන්නේ තම ජාතීන් පිරිසිදුව තබා ගැනීමෙන් පමණක් වන හෙයින් මෙම තත්වය ඉතා කණගාටුදායක ය.‘ ( Mamozai විසින් උපුටා දක්වන ලදී. 1982:125 පිටුව)

මේ අනුව, 1905දී යුරෝපීය පිරිමින් හා අපි‍්‍රකානු ගැහැනුන් අතර විවාහය තහනම් කෙරෙන නීතියක් සම්මත කෙරිණි. 1907දී මෙම නීති ගෙන එ්මට පෙර සිදු වූ විවාහයන් ද අවලංගු බවට ප‍්‍රකාශයට පත් කරන ලදී. 1908දී එවන් පවුල්වල ජීවත් වූවන්ටත්, ඔවුන්ගේ ‘අවජාතකයන්ටත්’ පුරවැසි අයිතිය අහෝසි කරන ලදී. එයට ඡුන්ද බලය ද ඇතුළත් විය. මෙම නීතියේ පැහැදිලි අරමුණ වූයේ දේපල අයිතිය සුදු සුළුතරය මත ම තබාගැනීමයි. ඡුන්ද අයිතිය තිබිණි නම් කාලයකදී ඔවුන්ට මැතිවරණවලදී ‘පිරිසිදු’ සුදු ජාතිකයන් අභිබැවිය හැකි විය. එහෙත්, යුරෝපීය මිනිසුන් හා කළු ගැහැනුන් අතර විවාහය තහනම් කරන නීති මගින් යටත්විජිතකාර පිරිමින්ගේ ලිංගික නිදහස ඇහිරීමට ජර්මානු පාර්ලිමේන්තුවට අවශ්‍යය වූයේ නැත. එ් වෙනුවට ජර්මානු පිරිමින්ට වෛද්‍යවරුන් පවා උපදෙස් දුන්නේ අපි‍්‍රකානු ගැහැනුන් අනියම් බිරියන් හා ගනිකාවන් ලෙස යොදා ගන්නා ලෙයසි.  ජර්මානු පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරයකු වන මැක්ස් බුචර් (Max Bucher) මෙසේ ලියා ඇත.

‘භූමියේ දියණියන් සමග නිදහස් ලිංගික පැවතුම් සෞඛ්‍යයට හානියක් ලෙස නොව වාසියක් ලෙස දැකිය යුතුය. අපි‍්‍රකානු හුදකලාභාවය තුළදී පහසුවෙන් ගොදුරු වන භාවමය පීඩනයන්හිදී කළු හම යට වුව සිටින ‘සදාතනික ගැහැනිය’ අපුරු ආලෝලනයකි. මෙම මානසික වාසියට අතිරේකව එහි පෞද්ගලික ආරක්‍ෂාවට අදාළ ප‍්‍රායෝගික වාසියක් ද තිබේ. සමීප කළු පෙම්වතියක් සිටීම මගින් බොහෝ අනතුරුවලින් ආරක්‍ෂා වීම ද අදහස් වේ. (Mamozai විසින් උපුටා දක්වන ලදී.1982:129)

මෙයින් අදහස් වුනේ කළු ගැහැනුන් සුදු මිනිසුන්ට අනියම් බිරියන් හා ගනිකාවන් වීමට යෝග්‍ය වූ නමුත් ඔවුන් නියම ‘බිරියන්’ වීමට නුසුදුසු බවයි.  එසේ වුවහොත් කලකදී අපි‍්‍රකාවේ දේපල සබඳතා වෙනස් විය හැක. ඩාර්-එස්-සලාම් හා මොරොගොරෝ අතර දුම්රිය මාර්ගය ඉදි කරන සමයේ සෞඛ්‍ය නිලධාරි ලෙස සේවය කළ වෛද්‍යවරයකු වූ Karl Oetkar විසින් කරන ලද ප‍්‍රකාශයකින් මෙය වඩාත් පැහැදිලි වේ. 

‘යළිදු අධාරණය කළ යුතු කාරණයක් නම්, කළු ගැහැනුන් සමග සංසර්ගයේ යෙදෙන සෑම යුරෝපීය පිරිමියෙකු ම ජාතීන් සම්මිශ‍්‍රණය වීම පිළිබඳ පරෙස්සම් විය යුතු බවයි. එවැනි මිශ‍්‍ර වීමක් විසින් අපගේ යටත් විජිත මත අහිතකර බලපෑමක් ඇති කරනු ලැබේ. මෙය බටහිර ඉන්දියාව, බ‍්‍රසීලය හා මැඩගස්කර යන තැන්වලදී පෘථුලව ඔප්පු විය. එවැනි සබඳතා සැලකිය යුත්තේ විවාහයට ආදේශක ලෙස පමණි. සුදු ජාතිකයන් අතර විවාහය සඳහා ඇති රාජ්‍ය පිළිගැනීම හා ආරක්‍ෂාව මෙවැනි සංස්ථා සඳහා ලබා නොදිය යුතුයි.‘ (Mamozai විසින් උපුටා දක්වන ලදී. 1982:130)
මෙහිදී දෙබිඩිකම ඉතා පැහැදිලි ය. විවාහය හා පවුල යනු සුදු හාම්පුතුන් වෙනුවෙන් වෙන් කරන ලද දේ විය. අපි‍්‍රකානු පවුල් බිඳ දැමිය හැකි ය. ගැහැනු හා පිරිමි ශ‍්‍රම කණ්ඩායම්වල දැක්කවිය හැකි ය. ගැහැනු ගනිකා වෘත්තියේ යෙදවිය හැකි විය.

ගැහැනුන් පිළිබඳ මෙම කුහක යටත් විජිතප‍්‍රතිපත්තිය දෙස සදාචාරාත්මක දෘෂ්ටිකෝණයෙන් පමණක් නොබැලීම ද වැදගත් ය.  විනීත ධනේශ්වර විවාහය සහ පවුල ආරක්‍ෂිත ආයතන ලෙස මතු වීම ‘ස්වදේශිකයන්ගේ’ ගෝති‍්‍රක හා පවුල් සබඳතා බිඳ දැමීම සමග සහේතුකව සම්බන්ධ වන බව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය ය. එක් යටත් විජිත නිලධාරියෙකු විසින් දක්වන ලද ආකාරයට ජර්මානු පවුල්වල ජනයා ‘නිර්ධන පංතික කාලකන්නිකමෙන්’ ගොඩ එ්ම යටත් විජිත සූරා කෑම හා යටත් විජිතවල ශ‍්‍රම බලය යටපත් කර ගැනීම සමග සෘජුව ම සම්බන්ධ ය. එම කාලයේදී බොහෝ අය විසින් දක්නා ලද පරිදි ජර්මනිය ප‍්‍රධාන පෙළේ කාර්මික ජාතියක් ලෙස සංවර්ධනය වීම යටත් විජිත අත්පත් කර ගැනීම මත යැපේ. මේ අනුව, පසු කලෙක රීච් චාන්සලර්වරයෙකු වූ Paul von Hindnberg ලියු පරිදි ‘යටත් විජිත නොමැතිව අමු ද්‍රව්‍ය නැත. අමු ද්‍රව්‍ය නොමැතිව කර්මාන්ත නැත. කර්මාන්ත නොමැතිව ප‍්‍රමාණවත් ධනයක් හෝ ජීවන මට්ටමක් නැත. එබැවින් ජර්මානුවන් වන අපට යටත් විජිත අවශ්‍යය. (Mamozai විසින් උපුටා දක්වන ලදී. 1983:27 පිටුව)

මෙම සූරාකෑමේ තර්කය සාධාරණීකරණය කෙරුණේ ‘ස්වදේශිකයන්’ ‘තවම’ සුදු හාම්පුතාගේ මට්ටමට වර්ධනය වී නැති බවට හා මෙම කලාපයේ නිදිබර නිෂ්පාදන බලවේග සංවර්ධනය කර මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් යෙදවීමට ඇති මඟ යටත් විජිතවාදය බවට ගොඩනගන ලද න්‍යාය මගිනි. නිරිතදිග අපි‍්‍රකාවේ යටත් විජිත නිලධාරියෙක් මෙසේ ලියුවේය. 

‘සුදු ජාතියේ සංවර්ධනය අතහැර දැමීමෙන් පමණක් අවබෝධ කර ගත හැකි ස්වදේශික හිමිකමක් නැත. බන්ටු, සුඩාන නීග්‍රෝ හා අපි‍්‍රකාවේ හොටෙන්ටෝට්වරුන්ට තමන්ට  ඕනැ හැටියට ජීවත් වී මිය යාමට අයිතියක් තිබේය යන අදහස විකාරයකි.  යුරෝපයේ ශිෂ්ට ජනතාවන් අතරදී, පවා මෙම නොසැලකිලිමත් ජනයා අපගේ යටත් විජිත දේපලවල නිෂ්පාදන ශක්‍යතා උපරිමව භාවිතා කරමින් තමන් ධනවත් වීමට හෝ සමස්ත මානව දේශය හා ජාතික ධනය ගොඩනැගීමට දායක නොවී, කාලකන්නි නිර්ධන පංතික පැවැත්මකට ගැලි සිටිති.‘ (Mamozai විසින් උපුටා දක්වන ලදී. 1983:58 පිටුව)

සුදු හාම්පුතුන්ට යටත් විජිතවල නිෂ්පාදන ශක්‍යතා ‘සංවර්ධනය’ කිරීමට හා එ් ඔස්සේ ‘ම්ලේච්ඡුයන්’ ශිෂ්ටත්වයට ගෙන එ්මට දෙවියන් විසින් පවරා තිබෙන කාර්යය පිළිබඳ අදහස පසුවට අප විසින් දකිනු ලබන පරිදි යටත් විජිතවාදය හරහා නිෂ්පාදන බලවේග සංවර්ධනය වූ බව විශ්වාස කළ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීහු ද බෙදා හදා ගත්හ. 


මේ අනුව, තුච්ඡු යටත් විජිත හාම්පුතුන් වෙනුවෙන් ළමයින් වැදීම නිරිතදිග අපි‍්‍රකාවේ ‘ස්වදේශික’ ගැහැනුන් විසින් ප‍්‍රතික්‍ෂ්ප කරනු ලැබීම දකිනු ලැබුවේ නිෂ්පාදන බලවේග සංවර්ධනය කිරීමේ යටත් විජිතවාදී කි‍්‍රයාමාර්ගයට එරෙහි ප‍්‍රහාරයක් ලෙයසි.  ජර්මානු ජනරාල් von Trotha හෙරටෝ ජනයාගේ කැරැල්ල කෲර ලෙස මර්දනය කිරීමෙන් අනතුරුව හෙරටෝ ගැහැනු පූර්ණ ලෙසම දරු උපත් වර්ධනය කළ හ. කැරිබියානු කලාපයේ ගැහැනු සේ ම ඔවුහු ද වැවිලිකරුවන් සහ වතු හිමියන් වෙනුවෙන් වහල් ශ‍්‍රමිකයන් නිෂ්පාදනය කර දීම ප‍්‍රතික්‍ෂ්ප කළ හ. 1892 සහ 1909 අතරතුර හෙරටෝ ජනගහණය 80,000 සිට 19,962 දක්වා පහත වැටිණි.  ජර්මානු ගොවීන්ට මෙය බරපතල ගැටළුවක් විය. ඔවුන්ගෙන් එක් අයෙක් මෙසේ ලිවීය.

‘ස්වදේශිකයන්ගේ කැරැුල්ලෙන් පසුව, විශේෂයෙන්ම හෙරටෝ ජනයා දරුවන් නොතැනීමේ ස්ථාවරයක් ගනිති. තමන් සිරකරුවෙකු ලෙස සලකන හේ ඔහු අකමැති සෑම කාර්යයකදී ම එය ඔබගේ අවධානයට ලක් කරයි.  සිය ස්වර්ණමය කම්මැලිකම තමනට අහිමි කළ පීඩකයා වෙනුවෙන් අලූත් ශ‍්‍රම බලකායක් තනා දීමට ඔහු කැමති නැත…….. ගොවිපලේ ඉපදෙන සෑම ළමයෙකු වෙනුවෙන්ම එළු දෙනක වැනි ත්‍යාගයක් දෙමින් මෙම කණගාටුදායක තත්වයට විසඳුම් දීමට කාලයක් තිස්සේ ජර්මානු ගොවීන් දැරූ උත්සාහය නිෂ්ඵල විය.  වර්තමාන ස්වදේශික ගැහැනුන්ගෙන් කොටසක් දිගු කාලයක් තිස්සේ ගතිකා වෘත්තියේ යෙදි සිටින හෙයින් මාතෘ පදවියට නුසුදුසු තත්වයට පත් ව ඇත. තවත් කොටසකට ළමයින් නො වුවමනා අතර ගැබ් ගැනීමක් සිදු වූ විට ගබ්සාව හරහා එයින් නිදහස් වෙති. එවැනි සිද්ධිවලදී බලධාරීන් බැරැරුම් ලෙස එ්වාට මැදිහත් විය යුතු ය.  සෑම සිද්ධියක්ම හොදින් පරික්‍ෂාවට ලක් කර, සිර දඬුවම් ලබා දිය යුතු ය. එය ප‍්‍රමාණවත් නොවේ නම්, වැරදිකරුවන් යදමින් බැඳ තැබිය යුතුය.‘ (Mamozai විසින් උපුටා දක්වන ලදී. 1982:52 පිටුව)

අවස්ථා ගණනාවකදී නීතිය සියතට ගත් ගොවීහු මුරණ්ඩු ගැහැණුන්ට කෲර දඩුවම් දුන් හ. හෙරටෝ ගැහැනුන්ගේ ස්ථාවරය තුළ අප නැවතත් දකින්නේ අපි‍්‍රකානු ගැහැනුන් යටත් විජිත කි‍්‍රයාවලියේ අසරණ ගොදුරු බවට පත් නො වු බවයි.  යටත් විජිත නිෂ්පාදය තුළ සිය සාපේක්‍ෂ බලය නිවැරදිව හදුනා ගත් ඔවුහු එය පාවිච්චි කළ හ. ඉහත දී උපුටා දක්වන ලද ජර්මානු ගොවියාගේ විස්තරයට අදාළව කිව යුතු දෙයක් නම්, උපත් වර්ජනයක නියලූණේ හෙරටෝ ගැහැනුන් වන මුත්, ඔහු සඳහන් කරන්නේ හෙරටෝ (මිනිසුන්) ගැන පමණි. වාර්තාකරණයේදී පවා යටත් විජිත පිරිමි යටත් ගැහැනුන්ගේ පුද්ගලභාවය හා ඔවුන්ගේ මුලපිරුම් හෙළා දුටුව හ. සියලූ ස්වදේශිකයෝ ම්ලේච්ඡුයෝ, වනචාරීහු වූහ . ඔවුන් අතරින් වඩාත්ම ම්ලේච්ඡු ස්වදේශික ගැහැනු ය.
 
අපි‍්‍රකාවේ සුදු ගැහැනු

යටත් විජිත කි‍්‍රයාවලියේ ‘අනෙක් පැත්ත’ පිළිබඳව ද Martha Mamozai ආකර්ශණීය තොරතුරු සම්පාදනය කරයි. එනම්, විශේෂයෙන්ම අපි‍්‍රකානු ගැහැනුන් හා අපි‍්‍රකානුවන් යටපත් කිරීමට යටත් විජිත පුරෝගාමීන් සමග විවාහ වී පැමිණි ජර්මානු ගැහැනුන් දායක වූ අන්දමයි.

කලින් කී පරිදි, සුදු යටත් විජිතකරුවන් මුහුණ දුන් එක් ගැටළුවක් වන්නේ යටත් විජිත කළ සුදු හාම්පුතුන්ගේ පරපුරක් ජනනය කිරීමයි. මෙය කළ හැකි වූයේ ‘පීතෘභූමියේ’ සුදු ගැහැනු යටත් විජිත කරා ගොස් ‘එහි අපේ කොල්ලන් ’ කසාද බැඳීමට සූදැනම් වී නම් පමණි. බොහෝ වැවිලිකරුවන් ‘නිර්භීත තනිකඩයන්’ යන ප‍්‍රවර්ගයට අයත් වූ හෙයින් ගැහැනුන් මනාලියන් ලෙස යටත් විජිත කරා යැවීමට අමතර මහන්සියක් දැරීමට සිදු විය. සුදු ආධිපත්‍යය පිළිබඳ බලපෑම් කළ ජර්මානුන් විසින් පෙන්වා දෙන ලද පරිදි, කලකදී මෙම පිරිමින් යුරෝපීය සංස්කෘතියෙන් හා ශිෂ්ටාචාරයෙන් විතැන් කිරීමට ඉඩ ඉඩ තිබෙන ‘කාපිරි ගැහැනුන්ගෙන්’ යටත් විජිතවල සුදු මිනිසුන් බේරා ගැනීම ගැහැනුන්ගේ විශේෂ යුතුකමක් විය.

මෙම ආමන්ත‍්‍රණයට ප‍්‍රතිචාර ලෙස Frau Adda von Liliencron ‘ජර්මානු යටත් විජිත සමාජයේ කාන්තා සංගමය’  පිහිටෙව්වාය. මෙම සංගමයේ අභිමතාර්ථය වූයේ යටත් විජිත ගෘහ පාලනය පිලිබඳ තරුණියන්ට විශේෂ පුහුණුවක් ලබා දී, ඔවුන් මනාලියන් ලෙස අපි‍්‍රකාවට යෑවීමයි.  ඇය මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බඳවා ගත්තේ ගොවි සහ කම්කරු පංතික තරුණියන් ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නගරවල ගෘහ සේවිකාවන් ලෙස වැඩ කර තිබිණි. 1898 දී පළමු වරට ‘එහි අපේ කොල්ලන්ට’ ‘නත්තල් තෑග්ගක් ’ තනිකඩ කෙල්ලන් 25ක් දකුණු අපි‍්‍රකාවට යවන ලදී. Mamozai මෙම ගැහැනුන්ගෙන් කොපමණ සංඛ්‍යාවක්, අපි‍්‍රකානු ගැහැනුන්ට ශිෂ්ටත්වයේ ගුණධර්ම වන පිරිසිදුකම, කලට වෙලාවට වැඩ කිරීම, කීකරුකම හා කාර්යක්‍ෂමතාවය ඉගැන්වීම තම තම කාර්යභාරය ලෙස සැලකූ සුදු ධනපති නෝනාවරුන් ලෙස මතු වූවා ද යන්න පෙන්වා දෙයි.  නොබෝදා වන තුරු පීඩිතභාවයේ සිටි මෙම ගැහැනු කෙතරම් කෙටි කලකින් ‘කිළිටි හා කම්මැලි ස්වදේශිකයන්‘ පිළිබඳ යටත් විජිත සමාජයේ පැතිරී තිබුණ පූර්ව විනිශ්චය වැළඳ ගත්තේ ද යන්න නිරීක්‍ෂණය කිරීම විස්මය උපදවයි.

යටත් විජිත ගැහැනුන් යටත් කිරීම ඔස්සේ බිරින්දන් හා ‘ජාතිය හා වර්ගයා බෝ කරන්නියන් ලෙස’ එහි ගිය යුරෝපීය ගැහැනුන් කිහිප දෙනා නියම ගෘහනියන් ලෙස නැගී සිටිය හ. එපමණක් නොව, ‘මව් රටේ’ ගැහැනු ද, ධනපති පංතියෙන් පටන් ගෙන පසුව නිර්ධන පංතිය දක්වා ශීඝ‍්‍රයෙන් ගෘහස්ථකරණය වී නියම ගෘහනියන් ලෙස ශිෂ්ට වූ හ. යටත් විජිතවාදය හා අධිරාජ්‍යවාදය ව්‍යාප්ත වූ මෙසමයෙහිදී ම යුරෝපයයේ හා එක්සත් ජනපදයේ ගෘහනියගේ මතු වීම ද දැකිය හැකි ය. මතුවට මම කතන්දරයේ මෙම පැත්ත ගැන අවධානය යොමු කරමි.

ගෘහනීකරණය 
පළමු අවධිය: නෝනාවරුන්ට සුවපහසුව

මායාකාරියන් ඝාතනය හරහා යුරෝපයේත්, අපි‍්‍රකාවේ, ආසියාවේ හා ලතින් ඇමරිකාවේ යටත් විජිත කි‍්‍රයාවලිය තුළත් ගැහැනිය යටත් කිරීමේ අනෙක් පැත්ත වන්නේ, පළමුව යුරෝපයේ ප‍්‍රාග්ධන සමුච්චකරණ පංති හරහා සහ පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ද, ගැහැනිය පාරිභෝගිකාවක හා ධනයේ හා සුවපහසුවේ ප‍්‍රදර්ශිකාවක ලෙස ද පසුව ගෘහනියක ලෙස ද නිර්මාණය කිරීමයි. අප අමතක නොකළ යුතු කාරණයක් වන්නේ යටත් විජිතවලින් මංකොල්ල කන ලද හා විකුණන ලද සියලූ භාණ්ඩ ජනතාවගේ දෛනික පැවැත්ම සඳහා අවශ්‍ය එ්වා නොව, සුවපහසු ද්‍රව්‍ය බවයි. එ්වා වනාහි මොලූක්කන් දූපත්වලින් ගෙනා කුළුබඩු, ඉන්දියාවෙන් ගෙනා මැණික්, සේද හා කපු පිළි, කැරිබියානු රටවලින් ගෙනා සීනි, කොකෝවා හා කුළුබඩු, ඇමරිකාවේ හිස්පැනෝවෙන් ගෙනා වටිනා ලෝහ ආදියයි. මුලදී මේවා පරිභෝජනය කරනු ලැබුවේ එ්වා මිළ දී ගැනීමේ වත්කම තිබුණු සුළු පිරිස පමණි. ‘සුඛවිහරණය හා ධනවාදය‘ (Luxury and Capitalism,1922) නම් සිය කෘතියෙහි Werner Sombart ගොඩ නගන ප‍්‍රවාදය වන්නේ මෙම බොහෝ දුර්ලභ සුඛෝපභෝගී යටත් විජිත භාණ්ඩ සඳහා වෙළඳපොළ නිර්මාණය කරනු ලැබුවේ 17 හා 18 සියවස්වලදී  ප‍්‍රංශයේ හා එංගලන්තයේ පරිපූර්ණවාදී කුමාරවරුන්ගේ හා රජවරුන්ගේ අනියම් බිරින්දන් ලෙස මතු වූ ගැහැනු පංතියක විසින් බවයි. සොම්බාට්ට අනුව, කාන්තාවන්ගේ ඇඳුමේ නව විලාසිතා, සුවඳ විලවුන්, ආහාර පුරුදු හා විශේෂයෙන්ම මහත්වරුන්ගේ ගෘහ අලංකාරණය හා අදාළ නව විලාසිතා නිර්මාණය කරන ලද්දේ මෙම පංතිය විසිනි. ප‍්‍රභූ තන්ත‍්‍රයේ රණකාමී මිනිසුන් හෝ වෙළඳ පංතිය හෝ අතර මෙවන් සංකීර්ණ  සුඛවිහරණ සංස්කෘතියක් නිර්මාණය කිරීමේ තනි හැකියාවක් නොතිබිණි. එය ගොඩනැගුණේ සුඛ විහරණ සත්වයන් වූ ගැහැනුන් වටා ය.  සොම්බාට් කියන පරිදි, ධනවාදයට තීරණාත්මක උත්පේ‍්‍රරකය සැපයු නව සුඛවිහරණ ‘අවශ්‍යතා’ නිර්මාණය කරනු ලැබුවේ ඔවුන් විසිනි. පරිපූර්ණවාදී රාජ්‍යය විසින් ගොඩනගාගන්නා ලද මුදල් වෙත ළගා වීමෙන් මුල් කාලීන ධනවාදය සඳහා වෙළඳපොළ ඔවුන් විසින් නිර්මාණය කරන ලදී.

16 වන හා 17 වන සියවස්වලදී ඉතාලියානු, ප‍්‍රංශ හා එංගලන්ත රජවාසලවල සුඛවිහරණ පරිභෝජනයේ සංවර්ධනය පිළිබඳ සවිස්තර වාර්තාවක් සොම්බාට් සපයයි. විශේෂයෙන්ම 14වන ලූවී රජු  සමයේදී සුඛවිහරණ වියදම්වල ප‍්‍රවණතාවක් ඔහු පැහැදිලිව හඳුනා ගනියි. 1542දී ප‍්‍රංශයේ රජුගේ සුඛවිහරණ වියදම Livres 2,995,000 විය. 1680 වන විට එය Livres 28,813,55දක්වා ඉහළ ගියේය. සොම්බාට් කියන පරිදි එම දැවැන්ත ඉහල යාම පසුපස ඇත්තේ මෙම වැඩවසම් ප‍්‍රධානීන් තුළ තම අනියම් බිරියන්ට හා අභිසාරිකාවන්ට තිබු ලෝලයයි. La Valliėre තිබු පේ‍්‍රමය විසින් වර්සෙල්සය ගොඩනැගීමට ලූවී රජු පොළඹවන ලද්දේ එපරිද්දෙනි. පැරණි පාලන (Ancien rėgime) සංස්කෘතියේ නියෝජිතවරිය වන Mme de Pompadourගේ අයවැය යුරෝපයේ අන් කිසිදු රැජිනකගේ වියදමට වඩා වැඩි විය. බලයේ සිටි 19 වසර තුළදී ඇය Livres 36,327,268 ක් වැය කළාය. (Sombart 1922: 98-99)

පළමුව යුරෝපීය රාජවාසලවලින් පැන නැගී පසුව අලූතෙන් ධනවත් වු Nouveaux riche යුරෝපීය ධනපති පංතිය විසින් අනුකරණය කරන ලද මෙම සුඛ විහරණයන්ගේ සංවර්ධනයට සුඛෝපභෝගි සළුපිළි, නිවාස, ගෘහ භාණ්ඩ, ආහාර හා සුවඳ විලවුන් ආදියෙහි ඇලී ගැලී සිටි මහා අභිසාරිකාවන්ගේ ගතිගුණ බල පෑ බවට සොම්බාට් කරන ප‍්‍රකාශයට ස්ති‍්‍රවාදීන් එකඟ නොවනු ඇත. ඔවුන් විසින් රැස් කරන ලද ධනයේ ප‍්‍රදර්ශන භාණ්ඩ බවට ගැහැනුන් පත් කිරීම සඳහා ධනය වැය කිරීමේදී පවා ඔවුන් විසින් කරන ලද්දේ ගැහැනුන් දුෂ්ටත්වයට නැංවීමයි. මෙයින් පහත අන්දමේ අදහසක් පැන නැගෙන්නේ නැද්ද? ආර්ථික හා දේශපාලන බලය විදහා පෙන්වූ, (මාක්ස්වාදී අරුතින්) ඓතිහාසික ‘යටත්වාසීන්’ වූ මේ මිනිසුන් නටවන ලද ඇත්ත බලය ගැහැනු ද? එහෙත්, ඊට අමතරව, ධනවාදය බිහි වුණේ ජනතාවගේ වර්ධනය වන යටත් විජිත අවශ්‍යතා සපිරීම සඳහා නොව, සුඛෝපභෝගී පරිභෝජනයෙන් බවට සොම්බාට් විසින් ගොඩනගනු ලබන ප‍්‍රවාදය යටත් විජිතවාදය හා ගෘහනීකරණය අතර සම්බන්ධය පිළිබඳ අපගේ සාකච්ඡාවට සෘජුවම සම්බන්ධ ය. ඔහු පැහැදිලිව පෙන්වා දෙන පරිදි මුල් කාලීන වෙළඳ ධනවාදය ප‍්‍රායෝගිකව සහමුලින් ම පදනම් වුණේ යුරෝපීය ප‍්‍රභූන් විසින් පරිභෝජනය කරන ලද යටත් විජිතවලින් ගෙන ආ සුඛෝපභොගී භාණ්ඩ පරිභෝජනය මතයි.  මෙම යුගයේ එක් වෙළෙඳ ලැයිස්තුවක අඩංගු වන ද්‍රව්‍ය මෙසේය. කෝමාරිකා, බාම්, ඉඟුරු, කපුරු, කරඳමුංගු, කහ වැනි පෙරදිග ඖෂධ, ගම්මිරිස්, කරාබුනැටි, සීනි, කුරුඳු, සාදික්කා වැනි කුළුබඩු, සඳුන් වැනි සුවඳ ද්‍රව්‍ය, ලාක්ෂා, හෙනා වැනි වර්ණක, සේද හා ඊජිප්තියානු හණ වැනි රෙදි පිළි සඳහා අමුද්‍රව්‍ය. කොරල්, මුතු, ඇත්දත්, පිගන් මැටි, අබරණ හා ගල් වර්ග, සේද, විල්ලූද, සිනිඳු හණ, ලෝම, තුනී කපු හා පට  වැනි රෙදි.

18,19, සියවස්වලදී මෙම ලැයිතුවට තවත් බොහෝ ද්‍රව්‍ය එකතු විය. එනම් නව යටත් විජිත වතුවල වගා කරන ලද, සීනි, කෝපි, තේ, කොකෝවා, ආදියයි. එංගලන්තයේ නැගී එන තේ පරිභෝජනය ගැන සොම්බාට් විස්තරයක් කරයි. 1906 දී සාමාන්‍ය ඉංගී‍්‍රසි පවුලක තේ පරිභෝජනය රාත්තල් 6ග5 කි. එක් එක් අවධිවලදී මේ මට්ටමට ලඟා වූ පවුල් ගණන මෙසේය.

1668 දී     පවුල් 3 යි
1710 දී     පවුල් 2,000 යි

1730 දී     පවුල් 12,000 යි

1760 දී     පවුල් 40,000 යි

1780 දී     පවුල් 140,000 යි (මූලාශ‍්‍රය:Sombart 1922:146 පිට)
 
අප‍්‍රිකාවේ, ආසියාවේ සහ ඇමරිකාවේ ජනයා සූරාකෑම මත පදනම් වූ යුරෝපීය ධනවතුන්ගේ මෙම සුඛවිහරණයන් යුරෝපීය ගැහැනියට අදාළ වන්නේ කෙසේද? එක්තරා, කාන්තා පංතියකගේ අනුරාගයන් හා සම්බන්ධ යයි පෙනෙන මේ සුඛවිහරණ නිෂ්පාදනයේ ප‍්‍රවණතාව සොම්බාට් මෙසේ හඳුනාගනියි.

1.    ගෘහස්ථකරණයේ ප‍්‍රවණතාවථ  මධ්‍යතන යුරෝපයේ දී පොදු දෙයක් වූ සුඛවිහරණය දැන් පෞද්ගලික විය. සුඛවිහරණ ප‍්‍රදර්ශනය සිදු වන්නේ පොදු උත්සවවලදී හෝ වෙළෙඳපොලේදී නොව, ධනවතුන්ගේ නිවාස හා වෙන් කරන ලද මැදුරු තුළ දී ය.

2.    වාස්තවිකකරණයේ ප‍්‍රවණතාවථ  මධ්‍යතන යුගයේදී ධනය ප‍්‍රකාශමාන වූයේ නිලකාරයන් හෙවත් ඉඩම්වල මෙහෙ කරමින් වෙසෙන ජනයාගේ සංඛ්‍යාවෙන් හෝ කුමාරයෙකුට ගණනය කළ හැකි පිරිවරෙනි. දැන් ධනය ප‍්‍රකාශමාන වෙන්නේ ද්‍රව්‍යමය භාණ්ඩයන්ගෙනි. ධනයෙන් මිළදී ගත් භාණ්ඩවලිනි. ඇඩම් ස්මිත් කියන පරිදි, කෙනෙක් ‘ඵලදායී නො වන’ සුඛවිහරණයේ සිට ‘ඵලදායී සුඛවිහරණයට’ ගමන් කරයි. (ධනවාදී අර්ථයෙන් මේ වනාහි ධනේශ්වර ව්‍යවසායක වැටුප් ශ‍්‍රමිකයෝ ය.) (Sombart 1922:119) සොම්බාට්ගේ අදහස පරිදි, විවේකී පංතියේ ගැහැනුන්ට වාස්තවික කරන ලද සුඛවිහරණ (වැඩිපුර භාණ්ඩ) සංවර්ධනය කිරීමේ අභිරුචියක් තිබිණි. සීනි හා කෝපි ආශ‍්‍රිතව ද සමාන ප‍්‍රවණතා නිරීක්‍ෂණය කළ හැකි ය. 8වන සියවසේ යුරෝපයේ බොහෝ ජනයා අතර පැණි වෙනුවට සීනි භාවිතය පැතිරී නොතිබිණි, 19 වන සියවස පමණ දක්වා සීනි යුරෝපීය ධනවතුන්ගේ නිදර්ශනාත්මක සුඛෝපභෝගී භාණ්ඩයක් විය. (Sombart 1922:147)

යුරෝපය, ඇමරිකාව, අපි‍්‍රකාව සහ පෙරදිග අතර වෙළඳාම 19 වන සියවස දක්වාම ප‍්‍රධාන වශයෙන්ම රැදුණේ ඉහත සඳහන් සුඛෝපභෝගී භාණ්ඩ මත ය.  නැගෙනහිර ඉන්දියාවේ සිට ප‍්‍රංශයට 1776 දී කරන ලද ආනයන වටිනාකම ප‍්‍රෑන්ක් 36,241,000 විය. එය බෙදී ගියේ මෙසේය.

කෝපි ෆ‍්‍රෑන්ක් 3,248,000
ගම්මිරිස් හා කුරුඳු ෆ‍්‍රෑන්ක් 2,449,000

මුස්ලින්(තුනී කපු) ෆ‍්‍රෑන්ක් 12,000,000

ඉන්දීය හණ ෆ‍්‍රෑන්ක් 10,000,000

පිඟන් මැටි භාණ්ඩ ෆ‍්‍රෑන්ක් 200,000

සේද ෆ‍්‍රෑන්ක් 1,382,000

තේ ෆ‍්‍රෑන්ක් 3,399,000

වෙඩිලූණු ෆ‍්‍රෑන්ක් 3,380,000

එකතුව    ෆ‍්‍රෑන්ක්    36.241,000
(මූලාශ‍්‍රය Sombart 1922:148 පිට)

සොම්බාට් වහල් වෙළඳාමෙන් ලබන ලද ලාභය ද සුඛවිහරණ නිෂ්පාදනය හා පරිභෝජනය හා අදාළ සංඛ්‍යා සමග යොදයි. (සීනි, කොකෝවා,කෝපි, වැනි සුඛෝපභෝගී ද්‍රව්‍ය නිපදවන ලැබුවේ වහලූන් විසින් බැවින් මෙය තර්කානුකූල ය.) වහල් වෙළඳාම සංවිධානය කෙරුණේ තනිකරම ධනේශ්වර පිළිවෙළකටයි. 

එංගලන්තයේ තොග හා සිල්ලර වෙළඳපොල සංවර්ධනය වූයේ ද 17 හා 19 සියවස්වල තර්කනය මත ම පදනම් ව ය. ස්වදේශික වෙළඳපොළට ආදේශක ලෙස මතු වූ පළමු නාගරික මහා සාප්පු  විසින් අලෙවි කරනු ලැබුවේ ද සුඛෝපභෝගී භාණ්ඩයි.

3.    කාලය සංකෝචනය වීමේ ප‍්‍රවණතාවයථ ඉහතදී ස්වදේශික අතිරික්තය නිෂ්පාදනය සඳහා ගත වූ දිගු කාලය හේතුවෙන් සුඛ විහරණ පාරිභෝජනය සීමිත වු නමුදු, දැන් වසරේ  ඕනෑම දිනයකදී ද පුද්ගල ජීවිතය පුරාම ද එ්වා පරිභෝජනය කළ හැකි විය. 

මා සිතන අන්දමට වැරදි ලෙස, සොම්බාට් මෙම ප‍්‍රවණතාවට ද හේතුව ලෙස, තම ආදරවන්තයන්ගේ පේ‍්‍රමයේ සංකේත ලෙස තම ආශාවන් වහා සංතෘප්ත කිරීම ඉල්ලා සිටි විවේකී පංතියේ ගැහැනුන්ගේ පුද්ගලවාදය හා නොඉවසිල්ල දක්වයි.

ඉහත ප‍්‍රවණතා අතරින් ගෘහස්ථකරණයට හා පෞද්ගලීකරණයට වූ ප‍්‍රවණතාව 19 හා 20වන සියවස්වලදී ධනවාදයේ මධ්‍යස්ථානවල ‘යහපත් ගැහැනියගේ’ නව ප‍්‍රතිරූපය නිර්මානය කිරීමේදී විශාල බලපෑමක් කළේ ය. ගැහැනිය ‘මව’ හා ‘ගෘහනිය’ බවට පත් වීම, මිනිසුන් විසින් පාලනය කරන නිෂ්පාදනයේ හා සමුච්චකරණයේ රඟමඩලෙන් බැහැර කර, රැකවරණය සලසන ලද පවුල ඇගේ බල ප‍්‍රදේශය බවට පත් කිරීම හා ‘ආදරය’ පරිභෝජනයේ පෞද්ගලික රඟමඬල බවට පත්වීම, එහි කොටස් වේ.

මීළඟට මවිසින් හඳුනාගනු ලබන්නේ ‘ආදරය’ හා පරිභෝජනය ගැන සැලකිලිමත්, පිරිමි ‘උපයන්නකු’ මත යැපෙන. ගෘහස්ථගත පෞද්ගලික ගැහැනියක පිළිබඳ පරමාදර්ශය නිර්මාණය වන ආකාරයයි. මෙය පළමුව ධනපති පංතිය තුළ ද, ඊළඟට ඊනියා සුළු ධනේශ්වරය තුළ ද, අවසානයේදී වැඩ කරන ජනයා හෙවත් නිර්ධන පංතිය තුළ ද සිදු වේ. 

පරිවර්තනය
අජිත් පැරකුම් ජයසිංහ

No comments:

Post a Comment