Saturday, March 19, 2011

‘පුරවැසි මංපෙත්’ කෘතියේ පෙරවදනින්….


"‘පුරවැසි මංපෙත්’ නමින් අන්තිම මොහොතේ නම් කෙරුනු මේ කෘතිය ශ‍්‍රී ලාංකික සමාජයේ යහපත් වෙනසක් ගැන සැබෑ ලෙස උනන්දු වන සියළු දෙනාගේ අවධානය සඳහා යොමු කරනු කැමැත්තෙමි; එ් අතර, ආගමික නායකයින්, කලාකරුවන්, මාධ්‍යකරුවන්, ගුරුවරුන් සහ සමාජ-දේශපාලන ක‍්‍රියාධරයින් යන පස් වැදෑරුම් සමාජ සන්නිවේදකයන් එහි විශේෂ ඉලක්ක පාඨකයින් ලෙස සලකමි. එ් අදහස නිසා, මේ ග‍්‍රන්ථය, එය යම් ශ‍්‍රාස්ත‍්‍රීය පදනම් මත මූලික වශයෙන් ගොඩ නගා ඇතත්, එහි භාෂාව සහ ආකෘතිය, සාමාන්‍ය පාඨකයාට එතරම් ගෝචර නොවන්නා වූ ශ‍්‍රාස්ත‍්‍රාලීය රාමුවෙන් හැකි තාක් දුරට මුදා ලිහිල්ව තබන්නට උත්සාහ කළෙමි. එනමුත් මෙහි එන ඇතැම් අදහස් සහ ප‍්‍රවාද ගැන වැඩිදුර සෙවීමට කැමති විද්‍යාර්ථීන් සහ පර්යේෂකයින් ගේ ප‍්‍රයෝජනය පිණිස, ඉඩ ලැබෙන ආකාරයට, අත්‍යවශ්‍ය පරිශීලන මූලාශ‍්‍ර පෙළ තුළ දක්වා ඇත. එමෙන්ම එ් එ් පරිච්ජේද ආශ‍්‍රිත වැදගත් අධ්‍යයන මූලාශ‍්‍රවල ලැයිස්තුවක් ද වෙනම පොතට එකතු කොට ඇත…."

“…කෙටියෙන් කිවහොත් මේ පොත ලියා අවසන් කිරීමත්, එය මුද්‍රණය කිරීමත් අතර කාල පරතරය මාස 18 කට ආසන්න වෙයි. එ් කාලය තුළ ශ‍්‍රී ලංකාවද, ලෝකයද, බරපතල වෙනස්කම්වලට භාජනය වී තිබේ. ශ‍්‍රී ලංකාවේ 30 වසරක යුද්ධය රජයේ ජයග‍්‍රහණයෙන් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යුධමය පරාජයෙන් නිමාවකට පැමිණ තිබේ. අමෙරිකා එක්සත් ජනපදයේ ජෝජ් බුෂ්ගේ පාලන සමය අවසන් වී බැරක් ඔබාමාගේ පාලන සමය ආරම්භ වී තිබේ. මේ පොත ලියා නිමවුනු සමාජ-දේශපාලන සන්දර්භය බැලූ බැල්මට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් රැඩිකල් වෙනස්කම් ගණනාවකට බඳුන් වී ඇති බවයි උක්ත කෙටි සඳහන් දෙකින් කියැවෙන්නේ. එනමුත් නිමාවී ඇති ග‍්‍රන්ථයේ පඨිතය අළුත් සන්දර්භයන්ට යාවත්කාලීන කිරීමට කිසිදු වෑයමක් නොදරා මුද්‍රණයට භාර දෙන්නට මා තීරණය කළෙමි. ඊට හේතුව එ් සඳහා කාලය නොමැතිවීම පිළිබඳ ප‍්‍රශ්නයම නොවේ. මා හිතන ආකාරයට යුද්ධය නිමා වීම, ශ‍්‍රී ලංකාවේ සමාජ ගැටුම්වල “ගැඹුරු සන්දර්භය”, සහ මේ ග‍්‍රන්ථය අවධානය යොමු කරන “ගැඹුරු ව්‍යුහයන්ගේ” සාධනීය වෙනසක් ලකුණු කරන්නේ නැත. ඉදින් මෙය කියවීමට අවශ්‍ය කෙරෙන සරල “ගැලැප්පීම්” ඔබටම කර ගත හැකි යැයි මා සිතමි…”

“…මේ ග‍්‍රන්ථය පිළිබඳ දළ අන්තර්-පඨිත විමසුමක් විසින් වුව හෙළි කරනු ඇත්තේ, පොත අග ඇති මූලාශ‍්‍ර ලයිස්තුවේ එන විද්වතුන්ට අමතරව තවත් බොහෝ දෙනෙකුට මා ණය ගැති බවය. නාමික මෙන්ම නිර්නාමික – දහස් ගණනක් විය හැකි – එ් බොහෝ දෙනාට “මා අන්තර්-සත්වයෙක්මි” යන සත්‍යය හඟිමින් කෘතඥ වෙමි….”

සුනිල් විජේසිරිවර්ධන
පොල්ගස් ඕවිට
03.06.2010

No comments:

Post a Comment