Showing posts with label Maria miss. Show all posts
Showing posts with label Maria miss. Show all posts

Sunday, January 30, 2011

යටත්විජිතකරණය හා ගෘහනීකරණය ( 06 )

මෙම ලිපිය අප විසින් ප‍්‍රකාශයට පත් කෙරුනු ඉතිහාස සඟරාවේහි ඵල කරන ලද්දකි. මේ හරහා යටත් විජිතකරණය සම්බන්ධයෙන් මාරියා මීස් හෙලන තියුනු ස්ත‍්‍රීවාදී බැල්ම පුලූල් අවකාශයක් තුළ සාකච්ඡා වීම වැදගත් යැයි අප සිතමු. මේ නිසා මෙම ලිපිය අපගේ බ්ලොග් අඩවියෙහි කොටස් වශයෙන් නැවත පලකරමු. මෙවර පලවන්නේ මෙම ලිපියෙහි අවසාන කොටසයි
 
යටත්විජිතකරණය හා ගෘහනීකරණය ( VI – කොටස )


දෙවන අවධිය ගෘහනිය හා න්‍යෂ්ටික පවුල: කුඩා සුදු මිනිසාගේ ‘යටත් විජිතය’


ලොකු සුදු මිනිසුන් හෙවත් Mamozai කී පරිදි ‘අධිපති මිනිස්සු,’ අපි‍්‍රකාවේ ආසියාවේ හා මධ්‍යම හා දකුණු ඇමරිකාවේ මිනිසුන්, ස්වභාවික සම්පත් හා ඉඩම් තමන් විසින් නිෂ්පාදය නොකරන ලද අමුද්‍රව්‍ය, නිෂ්පාදන හා ශ‍්‍රම බලය ලබා ගැනීම පිණිස සූරා කමින්, ස්වදේශික ජනතාවන් විසින් නිර්මාණය කරන ලද සියලූ සමාජ සබඳතාවලට බාධා කරන අතරතුර, සිය පීතෘ භූමී තුළ පීතෘමූලික න්‍යෂ්ටික පවුල් ගොඩනැගූ හ. එ් වනාහි අද අප දන්නා එ්ක භාර්යා න්‍යෂ්ටික පවුලයි. රාජ්‍යයේ විශේෂ ආරක්‍ෂාව යටතට පත් කරන ලද කරන ලද මෙම පවුල ඥතිත්වයේ හා සහජීවනයේ මූලධර්මයන්ගේ බලහත්කාරී සම්බන්ධ කිරීමකින් සමන්විත විය. එහිදී මිනිසා මෙම ගෘහයේ ‘මූලිකයා’ ලෙසද, ආදායම් නොඋපදවන නීත්‍යානූකූල බිරිඳගේ හා දරුවන්ගේ ‘ආදායම් උපයන්නා’ ලෙසද අර්ථකථනය කරන ලදි. 18වන සියවසේදීත්, 19වන සියවසේ මුලදීත්, මෙම විවාහය හා පවුල් ස්වරූපය කි‍්‍රයාත්මක කල හැකි වූයේ ධනපති දේපල හිමි පංතීන් අතර පමණි. ගොවීන්, ශිල්පීන් හා කම්කරුවන්, අතර ගැහැනුන්ට හැමවිටම හැම වැඩක්ම බෙදා හදා ගැනීමට සිදු විය. ඉහත කී වවාහ හා පවුල් ස්වරූපය සියලූ දෙනා අතර පිළිගැනීමට ලක් කරනු ලැබුවේ රජය විසින් 19වන සියවසේ අගභාගයෙන් මෙපිටදී තල්ලූ කරන ලද නීතිමය ප‍්‍රතිසංස්කරණ මාලාවක් ඔස්සේ ය. ජර්මනියේත්, වෙනත් යුරෝපීය රටවලත් දේපල අහිමි ජනයාට ආවාහ විවාහ සම්බාධක රාශියක් තිබිණි. මේවා අහෝසි කරනු ලැබුවේ 19වන සියවසේ අගභාගයේ දී ය. එසමයෙහිදී දේපල අහිමි වැඩ කරන පංතිය තුළ උත්පත්තිය හා බැඳුණ ප‍්‍රතිපත්තියක් ප‍්‍රවර්ධනය කිරීමට රජය මැදිහත් විය. (Heinsohn iy Knieper, 1976)
මෑත කාලීන පවුල් ඉතිහාසයන් විසින් හෙළිදරව් කරන පරිදි, යුරෝපයේ විශේෂයෙන්ම එංගලන්තයේදී හා ප‍්‍රංශයේදී පවුල පිළිබද සංකල්පය පවා ජනපි‍්‍රය වුයේ 18වන සියවසේ අග භාගයේදී බවයි. 19වන සියවසේ මැදහරියට පෙර මෙම සංකල්පය කම්කරුවන්ගේ හා ගැමි ගොවීන්ගේ ගෘහයන් වෙත පැමිණ නො තිබිණි. මක් නිසාද යත්, පොදු මතයට පටහැනි අන්දමින්, ‘පවුල්’ තුළ සුවිශේෂ පංතිමය අර්ථ නිරූපණයක් තිබිණි. ‘පවුල’ අත්පත් කර ගත හැකි වූයේ දේපල හිමි පංතීන්ට පමණි. ගොවිපල සේවකයන් හා නාගරික දිළින්දන් වැනි දේපල අහිමි ජනයාට ‘පවුලක්’ හිමි කර ගත හැකි යයි නොසැලකිණි. (Flandrin,1980; Heinsohn සහ Knieper, 1976) එහෙත් අද අප තේරුම් ගන්නා ආකාරයේ ‘පවුල’ (එනම් පීතෘමූලික මූලධර්මය මත පදනම් වූ සහවාසයේ හා ලේ ඥතිත්වයේ සුසංයෝගයක් ලෙස) අඩු තරමේ වැඩවසම් ප‍්‍රභූන් අතරවත් නො තිබිණි. වැඩවසම් ප‍්‍රභූන්ගේ පවුල සියලූ පවුල් සාමාජිකයන් අතර සහවාසය අදහස් කළේ නැත. විශේෂයෙන්ම සැමියා. බිරිඳ හා දරුවන් අතර සහවාසය ධනපති පවුලේ ඉතා වැදගත් නිර්නායකයක් විය. එ් අනුව පවුල පිළිබඳ අපගේ වර්තමාන සංකල්පය වනාහි ධනේශ්වර එකකි. (Flandrin,1980; Laz Tangangco,1982)
ධනවාදයේ ලක්ෂණයක් වූ ශ‍්‍රමයේ සමාජ හා ලිංගික විභජනය තහවුරු කරනු ලැබුවේ ධනපති පංතිය විසිනි. ධනපතීහු ‘පවුල’ ආර්ථික හා දේශපාලන ‘පොදු’ අවකාශයෙන් පිටස්තර පෞද්ගලික බල ප‍්‍රදේශයක් බවට පත් කළහ. ධනපතීහු පළමුව ‘සිය’ ගැහැනුන් මෙම පොදු අවකාශයෙන් ඉවත් කරගෙන තම ‘උණුසුම්’ ගෘහයන් තුළ වසා තැබූ හ. ඔවුනට මිනිසුන්ගේ රණකාමිත්වයන්, ධනකාමිත්වයන් හා දේශපාලනය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව අහිමි කරන ලදී. දහස් ගණන් ගැහැනුන් අරගල භූමියට ගෙන ආ ප‍්‍රංශ විප්ලවය පවා අවසන් වූයේ ගැහැනිය දේශපාලනයෙන් බැහැර කරමිනි. ධනපති පංතිය (විශේෂයෙන් ආගම්වාදී ඉංගී‍්‍රසි ධනපති පංතිය) ශෘංගාරාත්මක පේ‍්‍රමය මෙම පංතියේ නැගීමට පෙර ගැහැනිය සතුව තිබු ලිංගික හා ආර්ථික ස්වාධීනත්වය සඳහා වන්දියක් හා එහි පාරිශුද්ධකරණයක් ලෙස මතයක් ගොඩනැගූහ. නැගී එන ධනවාදයේ වැදගත් න්‍යායාචාර්වරයකු වූ මැල්තුස් (Malthus) පැහැදිලිව ම දුටු පරිදි ධනවාදයට වෙනස් ආකාරයක ගැහැණියක උවමනා විය. දුප්පතුන් සිය ලිංගික ‘සහජාසයන්’ වළක්වා ගත යුතු ය. එසේ නො වෙතොත් දුර්වල ආහාර සැපයුමට දරා ගත නොහැකි තරම් දුප්පතුන් බෝවනු ඇත. අනෙක් පැත්තෙන්, ෆ‍්‍රංසයේ කොන්ඩෝසෙට් (Condorcet) විසින් නිර්දේශ කරන ලද උපත් පාලන විධි ද ඔවුහු පාවිච්චි නොකළ යුතු ය. මක් නිසාද යත්, එමගින් ඔවුන් කම්මැලි කෙරිණි. ලිංගික වැළකීම හා වැඩට සූදානම අතර සමීප සම්බන්ධයක් හේ දුටුවේ ය. එ් වෙනුවට විනීත ධනේශ්වර ගෘහයන් පිළිබඳ සුන්දර චිත‍්‍රයක් ඔහු අඳියි. එහි ආදරය ලිංගික කි‍්‍රයාකාරිත්වයෙන් ප‍්‍රකාශයට පත් නොවන අතර, ගෘහයක භාර්යාව තරගකාරී හා එදිරිවාදී ‘පිටත’ ලෝකයක මුදල් වෙනුවෙන් වෙහෙසී වැඩ කරන ආදායම් උපදවන්නාට සුවපහසු නිවසක් නිර්මාණය කිරීම සඳහා ලිංගික ‘සහජාසයන්’ මර්දනය කර ගනියි (Heinsohn, Kneiper හා Steiger විසින් උපුටා දක්වන ලද Malthus, 1979) Heinsohn, Kneiper හා Steiger පෙන්වා දෙන පරිදි, එංගල්ස් හා මාක්ස් විසින් විශ්වාස කරන ලද ආකාරයෙන් ධනවාදය පවුල විනාශ කරන්නේ නැත. එ් වෙනුවට රාජ්‍යයේ හා පොලීසියේ උපකාරයෙන් එය පළමුව දේපල හිමි පංතිය අතර ද, පසුව වැඩ කරන ජනයා අතර ද, පවුල ගොඩනගන අතර, එ් සමඟම ගෘහනිය සමාජ ප‍්‍රවර්ගයක් බවට පත් වන්නී ය. එසේම මුල් කාලීන කර්මාන්ත නිර්ධන පංතියේ තත්වය හා සංයුතිය පිළිබඳ විස්තර අනුව, අද අප තේරුම් ගන්නා ආකාරයේ පවුල ඔවුනට සාමාන්‍යයෙන් පිළි ගන්නා අන්දමේ ආදර්ශයක් වුයේ නැත.
අප සියලූ දෙනා දන්නා පරිදි, මුල් කාලීන කර්මාන්ත පංතියෙන් බහුතරය වූයේ ගැහැනු හා ළමයි ය.  වඩාත්ම මිළ අඩු හා වෙනත් කිසිිදු ශ‍්‍රමිකයෙකුට වඩා සූරා කෑ හැකි කොටස වූයේ ඔවුහු ය. ළමයින් ඇති ගැහැනියකට පණ ගැට ගසා ගැනීමට නම්,  ඕනෑම වැටුපක් භාර ගැනීමට සිදු වන බව ධනවාදීහු තේරුම් ගත් හ. අනෙක් පැත්තෙන් ධනපතීන්ට ගැහැනු කරදරකාරිත්වයෙන් පිරිමින්ට වඩා අඩු වූ හ. පුහුණු මිනිසුන් මෙන් නොව ඔවුහු තව දුරටත් සංවිධානගත වී නො සිටියහ. මිනිසුන්ට නම් එකට වැඩ කරන්නන් හා සම්ප‍්‍රදායික ශිල්ප ශ්‍රේණි ලෙස සංවිධානය වීමක් තිබිණි. බොහෝ කලකට ඉහතදී ගැහැනුන් මෙම සංවිධානවලින් පන්නා දමා තිබිණි. ඔවුනට අලූත් සංවිධාන ද, කේවල් කිරීමේ බලය ද නොතිබිණි. එහෙයින්, ධනපතීන්ට ගැහැනුන් වැඩට ගැනීම අවදානමින් අඩු හා ලාභදායි මඟක් විය. කර්මාන්ත ධනවාදයේ නැගීම හා වෙළඳ ධනවාදයේ බිඳ වැටීම සමග (1830දී පමණ) ගැහැනුන්ගේ හා ළමයින්ගේ ශ‍්‍රමය අධික ලෙස සුරාකෑම ප‍්‍රශ්නයක් විය.  අධික ලෙස වැඩ කිරීමෙන් හා නරක ශ‍්‍රම පසුබිම හේතුවෙන් ශක්තිමත් කම්කරුවන් හා සොල්දාදුවන් බවට පත් විය හැකි ළමයින් වැදීමේ හැකියාව ගැහැනුන්ට නැති වී යන බව සියවසේ පසු අවධියේ යුද්ධ කිහිපයක් විසින් පෙන්වා දෙන ලදී.
මෙම ගැහැනු බෙහොමයක් නියම ‘පවුල්වල’ ජීවත් නො වු හ. අවිවාහක හෝ අතහැර දමන ලද ඔවුහු වැඩ කරමින්, ළමයින් හා තරුණයන් සමග තැනින් තැනට ගිය හ. (මාක්ස්, ප‍්‍රාග්ධනය, 1 කාණ්ඩය) කර්මාන්ත ශාලා වෙනුවෙන් කාලකන්නි කම්කරුවන් ජනනය කර දීමේ විශේෂ උනන්දුවක් මේ ගැහැණුන්ට තිබුනේ නැත. එහෙත් ගෘහගත ගැහැනිය පිළිබඳ පරමාදර්ශ සහිත ධනේශ්වර සුචරිතයට ඔවුහු තර්ජනයක් වූහ. එහෙයින් නිර්ධන පංතික ගැහැනිය ගෘහගත කිරීම ද අවශ්‍ය විය. ඇය ලවා තවත් කම්කරුවන් බිහි කර ගත යුතු විය.
මාක්ස් සිතූ ආකාරයට පටහැණි ව, ළමයින් ජනනය කිරීම නිර්ධන පංතියේ ‘සහජාසයට’ සීමා කළ නොහැකි විය. මක් නිසා ද යත්, Heinsohn හා Keniper පෙන්වා දුන් ආකාරයට දේපල අහිමි නිර්ධන පංතියට ළමයින් උපදවීමේ භෞතික ආශාවක් නො තිබිණි. ධනපති පංතියට මෙන් නොව, මහළු වියේදී ඔවුනට දරුවන්ගේ ආරක්‍ෂාව නො ලැබිණි. එබැවින් මිනිසුන් ජනනය කිරීමේ කාර්යයට මැදිහත් වීමට රාජ්‍යයට සිදු විය. නීති, පොලිස් කි‍්‍රයාමාර්ග හා පල්ලියේ මතවාදී ප‍්‍රචාරණය හරහා නිර්ධන පංතියේ ලිංගික ශක්තිය ධනේශ්වර පවුලේ රාමුව තුළට ගැනීමට සිදු විය. නිර්ධන පංතික ගැහැනිය ද ගෘහනීකරණය කළ යුතු විය. එහෙත් සැමියා ගෙන විත් ඇයටත්, දරුවන්ටත් කවන පොවන තෙක් බලා සිටීමට ඇයට හැකි වූයේ නැත. 19 වන සියවසේ ජර්මනියේ මෙම තත්වය Heinsohn සහ Krnieper (1976) විශ්ලේෂණය කරයි. ඔවුන්ගේ ප‍්‍රවාදය වන්නේ පොලිස් කි‍්‍රයාමාර්ග හරහා ‘පවුල’ නිර්ධන පංතිය වෙත තල්ලූ කිරීමට සිදු වූ බවයි. එසේ නොවුවහොත් නිර්ධනයින් ඊළඟ පරම්පරාවේ කම්කරුවන් ලෙස ප‍්‍රමාණවත් තරම් ළමයින් ජනනය නො කරනු ඇත. මේ වන විටත් කි‍්‍රයාත්මක කර තිබුණු, ළදරුවන් මැරීම අපරාධයක් බවට පත් කිරීමේ නීතියෙන් අනතුරුව, දේපල අහිමි පංතිවලට විවාහය තහනම් කළ නීති ද අහෝසි කරන ලදී. උතුරු ජර්මනියේ ලීගය විසින් 1868දී මෙම නීතිය සම්මත කරන ලදී. දැන් නිර්ධනයින්ට ද ධනපතීන්ට සේම විවාහ වී ‘පවුල්’ ගොඩනගා ගත හැකි විය. එහෙත් එපමණක් සෑහුණේ නැත. මෙම පවුලේ සීමාව තුළ සිදු වූ පරිද්දෙන්, ලිංගිකත්වය ද සීමා, කළ යුතු විය. එබැවින්, විවාහයට පෙර හා පවුලෙන් බැහැර ලිංගික සංසර්ගය නීති විරෝධි කෙරිණි. කම්කරුවන්ගේ සදාචාරය පිළිබඳ සොයා බැලීමේ පොලිස් බලය නිෂ්පාදන මාධ්‍යවල හිමිකරුවන්ට පැවරිණි. ෆ‍්‍රංස අපි‍්‍රකානු යුද්ධයෙන් (1870-71) පසු ගබ්සාව නීති විරෝධී කරන නීති සම්මත කරන ලදී. නව කාන්තා ව්‍යාපාර මෙම නීතියට එරෙහිව සටන් කළේ ය. එහෙත් ජයග‍්‍රහණ අවම විය. රාජ්‍යය සමග එක් වූ පල්ලිය මිනිසුන්ගේ ආත්මයට බලපෑම් කළේ ය. අනාගමික රාජ්‍යය විසින් නීති විරෝධී කරන ලද දේ පල්ලිය පාපයන් බවට පත් කළේ ය. පල්ලිය වැඩිපුර මිනිසුන් කරා ළගා වූ හෙයින් එයට විශේෂයෙන්ම පිටිසරදී, රාජ්‍යයට වඩා පුළුල් බලපෑමක් තිබිණි. (Heinsohn සහ Knieper,1976) මේ අන්දමින් ගෘහණීකරණය නිර්ධන පංතිය වෙත ද පටවන ලදී. Heinsohn සහ Kreiper, (1976) අනුව, දේපල අහිමි ගොවිපළ සේවකයන් හා කම්කරුවන් අතර කිසි කලෙක පවුල කියා දෙයක් තිබුණේ නැත. එය බලෙන් ගොඩනැගිය යුතු විය. මේ වන විට ගැහැනුන් සතුව තිබුණ උපත් පාලනය පිළිබඳ දැනුම අහිමි වී යාමෙන් හා පල්ලිය හා රාජ්‍යය ගැහැනියට තම ශරීරය තුළ තිබුණ ස්වාධීනත්වය උදුරාගෙන තිබුණ හෙයින් මෙම මූලෝපාය හරි ගියේ ය.
ගෘහනීකරණයේ එකම අරමුණ වූයේ ප‍්‍රාග්ධනයට හා රාජ්‍යයට ඇති තරම් ශ‍්‍රමිකයන් හා සොල්දාදුවන් සපයා දීම නො වේ. 19වන සියවස අග හරියේදීත්, 20වන සියවස මුලදීත් ගෘහ කටයුතු නිර්මාණය කිරීම හා ගෘහනිය පරිභෝජනයේ නියෝජිතවරියක කිරීම ඉතා වැදගත් උපායමාර්ගයක් විය. පුළුල් පරාසයක අලූත් උපකරණ සඳහා එ් වන විටත් ගෘහය වෙළඳපළ වී තිබුණා පමණක් නොව, ගැහැනිය තව දුරටත් ගෘහනීකරණය කිරීම සඳහා විද්‍යාත්මක ගෘහ කළමනාකරණය නව මතවාදයක් බවට ද පත් ව තිබිණි. ශ‍්‍රම වියදම් අඩුකිරීමට පමණක් නොව, නව අවශ්‍යතා නිර්මාණය කිරීමට ද ඇගේ ශක්තීන් බලමුළු ගැන්විණි. රසායනික කර්මාන්තයේ නව නිෂ්පාදන අලෙවි කිරීම සඳහා කුණු, විෂබීජ, බැක්ටීරියා ආදියට එරෙහිව පිරිසිදුකම හා සනීපාරක්‍ෂාව සඳහා පූර්ණ යුද්ධයක් ආරම්භ කෙරිණි. මිනිසුන්ගේ වැටුප් අඩු කිරීම සඳහා ද විද්‍යාත්මක ගෘහ කළමණාකරනය යොදා ගැනිණි. ගෘහනිය සකසුරුවමින් පරිහරණය කරන්නේ නම් වැටුප දිගුකලකට ප‍්‍රමාණවත් වෙතැයි සැළකිණි. (Ehrenreich සහ English, 1975)
ගැහැනිය ගෘහනියක කිරීමේ කි‍්‍රයාවලිය ඉදිරියට තල්ලූ කරනු ලැබුවේ ධනපති පංතිය හා රාජ්‍යය විසින් පමණක් නො වේ. 19වන සියවසේ හා 20වන සියවසේ කම්කරු පංති ව්‍යාපාරය ද එයට දායක විය. දේපල අහිමි පංතිය මත පටවන ලද බ‍්‍රහ්ම චර්යාව හා විවාහ සම්බාධක අහෝසි කිරීම සංවිධිත කම්කරු පංතිය විසින් ද පිළි ගන්නා ලදී. 1863 ජාත්‍යන්තර වැඩ කරන ජනයාගේ සංගම් සමුළුවට ජර්මානු නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද එක් ඉල්ලීමක් වූයේ කම්කරුවන්ට පවුලක් ගොඩනගා ගැනීමට ඇති නිදහසයි. Ehrenreich සහ English (1976) පෙන්වා දුන් පරිදි, එම යුගයේ දී Lassalle විසින් නායකත්වය දෙන ලද ජර්මානු කම්කරු පංති සංවිධාන දේපල අහිමි පංතිි මත පටවන ලද බ‍්‍රහ්ම චර්යාවට එරෙහිව සටන් කළාට වඩා පවුලක් ගොඩනගා ගැනීමේ හිමිකම වෙනුවෙන් සටන් කළ හ. එ් අනුව බලහත්කාර බ‍්‍රහ්මචාර්යාවෙන් නිදහස් වීම ඓතිහාසිකව අත්පත් කර ගනු ලැබුවේ සමස්ත දේපල අහිමි පංතියම ධනේශ්වර විවාහ සහ පවුල් නීතිවලට යටත් කිරීමෙනි. ධනේශ්වර විවාහය හා පවුල ‘ප‍්‍රගතිශීලි’ ලෙස සැලකුණ බැවින් වැඩ කරන පංතිය මෙම ප‍්‍රමිතිය අත්පත් කර ගැනීම කම්කරු පංතියේ බොහෝ නායකයින් විසින් ප‍්‍රගතිශීලි කාර්යයක් ලෙස සලකන ලදී. ඉහළ වැටුප් සඳහා කම්කරු ව්‍යාපාරවල අරගල බොහෝ විට සාධාරණීකරණය කරන ලද්දේ මිනිසකුගේ වැටුප බිරිඳ දරුවන් රැක බලාගෙන ගෙදර රැදී සිටිද්දී පවුල නඩත්තු කිරීම සඳහා ප‍්‍රමාණවත් විය යුතු ය යන තර්කයෙනි.
1830, 1840 සමයේ සිට 19වන සියවස අවසානය දක්වා ජර්මානු පිරිමි කම්කරුවන්ගේත්, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ සංවිධානගත ව සිටියවුන්ගේත් ආකල්පය Thonnessen විසින් හඳුන්වාදෙනු ලැබුවේ ‘නිර්ධන පංතික ස්තී‍්‍රවාද විරෝධය’ ලෙසයි. (Thonnessen,1969:14) එය මූලිකව ම ගොඩනැගුණේ ගැහැනුන් කර්මාන්ත නිෂ්පාදනයට ඇතුළු වීම විසින් තම වැටුප් හා රැකියා තර්ජනයට ලක් වනු ඇති ය යන බිය විසිනි. විවිධ කම්කරු සම්මේලන හා පක්‍ෂ සමුළු රැුසකදී ගැහැනු කම්හල්වල වැඩ කිරීම තහනම් කිරීමට යෝජනා කරන ලදී. 1866දී ජිනීවාහි පැවැත්වුණ පළමු ජාත්‍යන්තරයේ සමුළුවෙහිදී ද මෙම ප‍්‍රශ්නය සාකච්ඡා කෙරිණි. එම සමුළුවේ මහ සභාවේ නියෝජිතයන්ට උපදෙස් කෙටුම්පත් කළ මාක්ස් කියා තිබුණේ නූතන කර්මාන්තවල ගැහැණුන් හා ළමයින් නිෂ්පාදනයට සම්බන්ධ කර ගැනීමේ ප‍්‍රවණතාව ප‍්‍රගතිශීලී එකක් ලෙස සැලකිය යුතු බවයි. එහෙත්, ෆ‍්‍රංස කණ්ඩායම හා ජර්මානු නියෝජිත පිරිසේ සමහරු ගැහැනුන් නිවසින් පිටත වැඩ කිරීම කෙරෙහි දැඩි විරෝධයක් පළ කළ හ. ජර්මානු අංශය පහත සදහන් සිහි කැඳවීම පවා ඉදිරිපත් කළ හ.
‘…. බිරියන්ට හා මව්වරුන්ට අයිති කාර්යයන් ඇත්තේ ගෘහයේ හා පවුලේ ය. මිනිහා බැරැරුම් පවුල් හා පොදු කටයුතුවල නියෝජිතවරයා වන විට බිරිය හා මව ගෘහස්ත ජීවිතයේ සුවපහසුභාවයේ හා කාව්‍යමය ගුණයේ නියෝජිතවරිය විය යුතු ය. ඇය සමාජ චාරිත‍්‍රවලට සුන්දරත්වය රැගෙන ආ යුතු අතර මානව  වින්දනය උසස් හා උදාර තලයකට රැගෙන ආ යුතුය.‘ (Thonnessen,1969:14)
මාක්ස් සහ එංගල්ස් විසින් කොමියුනිස්ට් ප‍්‍රකාශනයෙහිදී බැහැර කරන ලද කුහකත්වය හා ධනේශ්වර හැඟීම්බරභාවය ගැහැනිය ‘නියමිත’ ස්ථානයේ තබා ගැනීමට උවමනා පිරිමි නිර්ධන පංතිකයන් විසින් නියෝජනය කරනු ලබන ආකාරය මේ ප‍්‍රකාශනය තුළ දැකිය හැකිය. එහෙත් කාල් මාක්ස් පවා ගැහැනියකගේ කාර්යයන් පිළිබඳව පැහැදිලි සහ නිරවුල් ප‍්‍රකාශයක් කර නොමැත. පළමුවන ජාතයන්තරයට දුන් උපදෙස්වලදී ඔහු කර්මාන්තශාලාවල ගැහැනියගේ හා ළමයින්ගේ වැඩ කිරීම ප‍්‍රගතිශීලි ප‍්‍රවණතාවකැයි සලකන නමුදු රැ වැඩ සහ ගැහැනුන්ගේ ‘සියුමැලි සිරුරුවලට’ හානි පමුණුවන වැඩ අඩු කළ යුතු බව පවසයි. රැ වැඩ පිරිමින්ට ද නරක යයි සැලකූ හේ ගැහැනුන්ට විශේෂ ආරක්‍ෂාව සැලසිය යුතු යයි පැවසීය. ‘නිර්ධන පංතික ස්තී‍්‍රවාද විරෝධයේ’ ප‍්‍රවණතාව වැඩියෙන්ම ප‍්‍රකාශ කරනු ලැබුවේ ලසාල් (Lassalle) විසින් නියෝජනය කරන ලද ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ පාර්ශ්වයයි. 1866දී පැවති Allgemeiner Deutscher Arbeiter-Verein (ADAV) සමුළුවකදී පහත ප‍්‍රකාශය කෙරිණි.

අපගේ කාලයේ වඩාත්ම සාහසික හිංසනය වන්නේ ගැහැනුන් වැඩපළවල හා නවීන කර්මාන්තවල සේවයේ යෙදවීමයි. එය සාහසික වන්නේ එමගින් වැඩකරන ජනයාගේ භෞතික තත්වයන් වැඩිදියුණු කරනවා වෙනුවට බිඳ දමන හෙයිනි.  විශේෂයෙන්ම පවුලේ බිඳ වැටීම හේතුවෙන් වැඩ කරන ජනගහණය කෙතරම් කාලකන්නි තත්වයකට පත් වන්නේ ද යත්, ඔවුන් වෙත මෙතෙක් පැවති සංස්කෘතික හා පරමාදර්ශී වටිනාකම් අහිමි ව යයි. එබැවින් ශ‍්‍රම වෙළඳපොළ තවදුරටත් ගැහැනුන්ට විවෘත කිරීමේ ප‍්‍රවණතාව හෙළා දැකිය යුතුව තිබේ. ප‍්‍රාග්ධනයේ පාලනය අහෝසි කිරීම මෙයට ඇති එකම විසඳුමයි. සාධනීය හා කේන්ද්‍රීය ආයතන මගින් වැටුප් සබඳතා අහෝසි කර දමන ලද කල සෑම ශ‍්‍රමිකයකුම තම ශ‍්‍රමයේ උපරිම ඵල භුක්ති විඳිනු ඇත. (සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියා(Social Democrat). අංක 139, 1867 නොවැම්බර් 29, 3 වෙලූම)

 
නිර්ධන පංතියට නියමාකාර පවුලක් අවශ්‍ය ය යන දැක්ම දැරුවේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ ‘ප‍්‍රතිසංස්කරණවාදීහු’ පමණක් නොවේ. මාක්ස්ගේ විප්ලවීය උපාය මාර්ගය අනුගමනය කළ රැඩිකල්වරුනට පවා ගැහැනිය හා පවුල පිළිබඳ වෙනත් සංකල්පයක් තිබුණේ නැත. එංගල්ස් සමඟ එ් දක්වා ම එම අංශයේ සිටිමින් ස්තී‍්‍ර විමුක්තිය පිළිබඳ වැදගත්ම දායකත්වය සැපයුවන් ලෙස සැලකෙන August Bebel හා Clara Zetkin පවා නිර්ධන පංතිය අතර නියමාකාර පවුලක් පවත්වාගෙන යාම අගය කළ හ. මව්වරුන්ට ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි කාලයක් යෙදවිය හැකි වනු පිණිස බෙබෙල්ට ද ගැහැනියගේ රැකියා නියුක්තිය අවම කිරීමට උවමනා විය. නිර්ධන පංතික පවුලේ විනාශය පිළිබඳ හේ දුක් වූයේ ය.
හැන්දෑවේ දැඩි ලෙස වෙහෙසට පත්ව නිවසට එන කම්කරු බිරිඳට එතැන් සිට තවත් වැඩ රාශියක් තිබේ. වහා අත්‍යවශ්‍ය කටයුතුවල යෙදීමට ඇයට සිදු වේ. ගෙදරදී නොලැබෙන සතුට සොයා තැබෑරුම් කරා යන මිනිසා බීමට ද….. ඇතැම් විට වඩාත් හානිකර වූ සූදුවට ද පෙළඹෙයි. මේ අතර, නිවසේ සිටින ගැහැනිය මැසිවිලි කියමින්  තිරිසනියක සේ වැඩපල කරයි…… අසමගිය ආරම්භ වන්නේ මෙසේ ය. ගැහැනිය වගකීමෙන් අඩු කෙනෙක් නම්, ඇය ද වෙහෙස වී ගෙදර පැමිණීමෙන් පසු සතුට සොයා යන්නී නම්, ගෘහ කටයුතු බිඳ වැටී කාලකන්නිකම දෙගුණ වේ. (Bebel,1964 157-8 පිටු)
ශ‍්‍රමයේ ලිංගික විභේදනයේ වෙනසක් අවශ්‍ය බව හෝ ගෙදරෙදාර කටයුතු මිනිහා විසින් ද බෙදා හදා ගත යුතු බව බෙබෙල් වටහා නොගනී. ගැහැනිය ප‍්‍රධාන වශයෙන් මවක ලෙස දකින හේ අනාගතයේ ඇගේ භූමිකාවේ වෙනසක් අපේක්‍ෂා නොකරයි.

ක්ලාරා සෙට්කින් විසින් දරණ ලද ප‍්‍රධාන අදහස ද මෙය ම ය. ‘නිර්ධන පංතික ස්තී‍්‍රවාද විරෝධයට’ එරෙහිව ඇගේ අරගල කෙසේ වෙතත්, ඇය ද නිර්ධන පංතික ගැහැනිය දුටුවේ කම්කරුවකුට වඩා මවක හා බිරිඳක ලෙසයි. Gothaහි  පක්‍ෂ සමුළුවකදී ඇය කතාවක් පවත්වමින් ඇගේ න්‍යායේ පහත සඳහන් ප‍්‍රධාන කරුණු ගෙනහැර දක්වයි.
01. ස්තී‍්‍ර විමුක්තිය සඳහා වන අරගළය ධනවාදයට එරෙහි ව නිර්ධන පංතියේ අරගළය තුළ වෙන් කොට හඳුනා ගත හැකි ය.
02. කෙසේ වෙතත්, වැඩ කරන ගැහැනුන්ට ඔවුන්ගේ වැඩ බිම්වලදී විශේෂ ආරක්‍ෂාවක් අවශය ය.
03. වැඩකරන ගැහැනුන්ගේ තත්වය වැඩිදියුණු කිරීම මගින් ඔවුනට සමස්ත පංතියේ විප්ලවීය අරගලයට වඩා කි‍්‍රයාශීලී ව සහභාගි වීමට අවස්ථාව ලබා දෙයි.
මාක්ස් හා එංගල්ස් සේ ම ඇය ද දරන්නා වූ අදහස වූයේ ධනවාදය මිනිසා සහ ගැහැනිය අතර සූරාකෑමේ සමානත්වයක් ඇති කර තිබෙන බවයි. එබැවින් ධනේශ්වර ස්තී‍්‍රවාදීන් කරන්නා සේ නිර්ධන පංතික ගැහැනුන්ට මිනිසුන්ට එරෙහිව සටන් කළ නොහැකි ය. ඔවුන් මිනිසුන් සමග එකතුව ධනපති පංතියට එරෙහිව සටන් කළ යුතු ය.
එබැවින් නිර්ධන පංතික ගැහැනියගේ විමුක්ති අරගළය ධනේශ්වර ගැහැනුන් තම පංතියේ පිරිමින්ට එරෙහිව කරන අරගළයට සමාන විය නොහැකි ය. එ් වෙනුවට එට තම පංතියේ මිනිසුන් සමඟ ධනපති පංතියට එරෙහිව කරන අරගළයක් වේ. නිදහස් තරගකාරිත්වය සීමා කරන බාධක බිඳ දැමීම පිණිස ඇය ඇගේ පංතියේ මිනිසුන්ට එදිරිව සටන් කළ යුතු නො වේ. සූරාකෑමේ හා නවීන නිෂ්පාදන මාදිලි සංවර්ධනය කිරීමේ ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා විසින් මෙය ඇයට ඉටු කර දී තිබේ. එයට වෙනස්ව අවශ්‍ය වන්නේ නිර්ධන පංතික ගැහැනිය සූරා කෑමට එරෙහි ව නව බාධක ඇති කිරීමයි. අවශ්‍ය ව තිබෙන්නේ බිරිඳක, මවක ලෙස ඇගේ හිමිකම් ඇයට ආපසු ලබා දීම හා ඔවුන් ආරක්‍ෂා කිරීමයි. අරගලයේ අවසන් අරමුණ මිනිහා සමග නිදහස් තරගකාරිත්වය තහවුරු කිරීම නො ව, නිර්ධන පංතියේ දේශපාලන බලය පිහිටුවීමයි. (Evans විසින් උපුටා දක්වන ලදී. 1978:114 පිටුව)
මෙම ප‍්‍රකාශයෙහි ඇති කැපී පෙනෙන කාරණය වන්නේ මවක හා බිරිදක ලෙස ගැහැනියගේ අයිතිවාසිකම් අවධාරණය කිරීමයි.
‘මවුන් හා බිරියන් ලෙස තම කාර්යයන්ගෙන් දුරස්ථ වීම කිසි සේත්ම ගැහැනුන්ගේ සමාජවාදී උද්ඝෝෂණවල කාර්යය නොවිය යුතු ය. එ් වෙනුවට නිර්ධන පංතියේ උවමනාවන් වෙනුවෙන් මෙයට වඩා හොඳින් ඇයට මෙම කාර්යයන් සපිරිය හැකි බව වටහා ගත යුතු ය. පවුලේ තත්වයන් හොඳ වන තරමට, ගෘහය තුළ ඇගේ කාර්යක්‍ෂමතාවය වැඩි වන තරමට, ඇයට වඩා හොඳින් සටන් කළ හැකි වනු ඇත. තම සැමියන් හා දරුවන් පංති විඥ යෙන් දිරිමත් කරන බොහෝ මව්වරුන් හා බිරියන් ද අප මේ රැස්වීම්වලදී දකින සහෝදරියන් තරමට ම වැඩ කරති. (Evans විසින් උපුටා දක්වන ලදී. 1978:114-115 පිටු)
මෙම අදහස් පක්‍ෂය තුළ ඉතා සාධනීය දෝංකාරයක් ඇති කළේ ය. එහෙත් අප දකින පරිදි එය බිරිඳක හා මවක ලෙස ගැහැනියගේ කාර්යය දකින ධනේශ්වර සංකල්පයකි. මේ අයුරින් ධනේශ්වර න්‍යෂ්ටික පවුල වැඩ කරන පංතිය තුළ නිර්මාණය කිරීමේ කි‍්‍රයාවලිය හා නිර්ධන පංතික ගැහැනිය ගෘහනීකරණය ජර්මනියට පමණක් සීමා වූයේ නැත. එය සියලූ කාර්මිකරණය වූ හා ‘ශිෂ්ට’ රටවල දැකිය හැකි ය. එය ඉදිරියට ගනු ගැබුවේ ධනපති පංතිය හා රාජ්‍යය විසින් පමණක් නො වේ. කම්කරු පංතියේ ‘ඉතා උසස් කොටස’ හෙවත් යුරෝපා රටවල පිරිමි පුහුණු ශ‍්‍රමික ප‍්‍රභූහු ද එයට දායක වූ හ. විශේෂ වශයෙන් සමාජවාදීන්ට මෙම කි‍්‍රයාවලිය ප‍්‍රාථමික ප‍්‍රතිරෝධයක් ඇති කරයි. එය සමාජවාදී රටවල පවා තවමත් විසඳී නැත.
සෑම ගතානුගතික සමාජවාදියකු ම විශ්වාස කරන පරිදි, සමාජ නිෂ්පාදනයට පිවිසීම ස්තී‍්‍ර නිදහසේ හෝ විමුක්තියේ හෝ පූර්ව කොන්දේසියක් ලෙස සලකන්නේ නම්, එ් හා සමාන්තරව, මිනිසා පවුල් ගෘහමූලිකයා හා ආදායම් උපදවන්නා ලෙස ද ගැහැනිය යැපෙන්නියක, බිරිඳක හා මවක ලෙස සැලකීම ද න්‍යෂ්ටික පවුල ප‍්‍රගතීශීලි ලෙස ද සැලකීම ප‍්‍රතිවිරෝධී වේ.
කෙසේ වෙතත්, මෙම ප‍්‍රතිවිරෝධය ගැහැනු සහ මිනිසුන් අතර සත්‍ය වශයෙන් පවතින පංති විෂමතාවක ප‍්‍රතිඵලයකි. සමස්තයක් ලෙස ගත් කල කම්කරු පංතියට න්‍යෂ්ටික පවුල ගොඩනැගීමේ හා ගැහැනිය ගෘහනීකරණයේ භෞතික අවශ්‍යතාවක් නොමැති බව පවසන Heinsohn සහ Knieper (1976) සමග මම එකඟ නො වෙමි. කම්කරු පංතික ගැහැනියට දිනා ගැනීමට දෙයක් නැති වන්නට පුළුවන,එහෙත් කම්කරු පංතික මිනිසාට එවැන්නක් තිබේ.
තම ස්තී‍්‍ර පංති සඟයින් ගෘහස්ථකරණයේ භෞතික උවමනාවක් නිර්ධන පංතික මිනිසුන්ට තිබේ. එය තුළ එක අතකින් තිබෙන වැටුප් තුළ එ්කාධිපතිත්වය දැරීමේ අවශ්‍යතාව ද, අනෙක් පැත්තෙන් පවුල තුළ සියලූ මූල්‍ය ආදායම්වල පාලනය ලබා ගැනීමේ උවමනාව ද තිබේ. ධනවාදය යටතේ මුදල බලයේ ප‍්‍රධාන මූලාශ‍්‍රය හා මූර්තිය බවට පත්ව තිබෙන හෙයින් නිර්ධන පංතික මිනිස්සු ධනපතීන් සමග පමණක් නො ව, තම බිරියන් සමග ද මුදල් සඳහා සටන් කරති. පවුල් වැටුපක් වෙනුවෙන් ඔවුන්ගේ ඉල්ලීම මෙම අරගලයේ ප‍්‍රකාශමාන වීමකි. නිසියාකාර පවුල් වැටුපක් කිසිදු  කලෙක ගෙවා තිබේ ද, නැද්ද යන්න මෙහිදි වැදගත් නොවේ. (cf. land, 1980 Barrett සහ McIntosh,1980) මෙහි ඇති වැදගත් කරුණ නම් මෙම සංකල්පයේ මතවාදීමය හා න්‍යායික ප‍්‍රතිඵලය විසින් පවුල සහ ගැහැනිය පිළිබඳ ධනේශ්වර සංකල්පය නිර්ධන පංතිය විසින් ඇත්ත වශයෙන් ම පිළි ගනු ලැබීමයි.
ශ‍්‍රම බලයේ වටිනාකම පිළිබඳ මාක්ස්ගේ විග‍්‍රහය ද, කම්කරුවාට ‘වැඩ නොකරන’ ගෘහනියක් සිටියි යන සංකල්පය මත පදනම් වේ. (මීස්, 1981) මෙයින් මතු වැටුප් ශ‍්‍රමය වේවා ගෘහ ශ‍්‍රමය වේවා, ගැහැනු කරන සියලූ වැඩ අඩුවෙන් අගය කෙරිණි.
ප‍්‍රාග්ධන සමුච්චකරණයේදී ගෘහ කටයුතුවල කි‍්‍රයාකාරිත්වය මෑතදී ස්තී‍්‍රවාදීහු ගැඹුරින් සාකච්ඡා කළ හ. මම එම සාධකය මෙහිදී අත්හැර දමමි. මා පෙන්වා දෙන්නේ ගෘහනීකරණය විසින් ධනපතින්ට දැරීමට සිදු වී තිබුණු පිරිවැයක් පිටස්තරකරණය හෝ භූමියෙන් බැහැරකරණය හෝ අදහස් කරන ලද අතර ගැහැනුන්ගේ ශ‍්‍රමය වාතය හා ජලය සේ නොමිළේ ලැබෙන දෙයක් වේ යන්න මෙහි තේරුම බවයි.

එ් අතරතුර ම ගෘහනීකරණය විසින් මෙම සැඟවුණු කම්කරුවන් සම්පූර්ණයෙන්ම පරමාණුකරණය අසංවිධානාත්මක කිරීම අදහස් කරන ලදී. ගැහැනුන්ගේ දේශපාලන බලය හා කේවෙල් කිරීමේ බලය නැතුව යාමට එකම හේතුව මෙය නො වේ. ගෘහනිය වැටුප් ශ‍්‍රමික ආදායම් උපයන්නාට බැඳී සිටින හෙයින් ද, නිදහස් නොවන කම්කරුවකු ලෙස ‘නිදහස්’ නිර්ධන පංතියට තම ශ‍්‍රම බලය විකිණීමේ ‘නිදහස’ පදනම් වන්නේ ගෘහනිය ‘නිදහස් නොකිරීම’ මතයි. මිනිසුන්ගේ නිර්ධනීකරණය පදනම් වන්නේ ගැහැනුන්ගේ ගෘහනීකරණය මතයි.

 
මේ අන්දමින් කුඩා සුදු මිනිසා ද පවුල නම් වූ තම ‘යටත් විජිතය’ හා ගෘහස්ථගත ගෘහනිය හිමි කර ගත්තේ ය.  අවසානයේදී දේපල අහිමි නිර්ධන පංතිය පුරවැසියාගේ ‘ශිෂ්ට’ තත්වයට පත් වූ බවට මෙය සලකුණක් විය. එ් අනුව ඔහු ‘සංස්කෘතික පංතියක’ පූර්ණ සාමාජිකයෙක් විය. කෙසේ වතුදු, මේ නැගීම සඳහා ගෙවන ලද මිළ වූයේ තම පංතියේ ගැහැනුන් යටපත් කර ගැනීම හා ගෘහනීකරණයයි. කම්කරු පංතිය වෙත දීර්ඝ කරන ලද ධනේශ්වර නීතියෙහි අරුත වූයේ දේපල අහිමි මිනිසා ද පවුල තුළ ස්වාමියා හා හාම්පුතා වන බවයි.
මගේ ප‍්‍රවාදය නම්, මෙම යටත්විජිතකරණ හා ගෘහනීකරණ කි‍්‍රයාවලි දෙක සමීපව එකට වෙලී ඇති බවයි. පූර්වයෙහි සෘජු යටත් විජිත ලෙස ද, දැන් නව ජාත්‍යන්තර ශ‍්‍රම විභජනය ලෙසද ඉදිරියට යන සූරාකෑමෙන් තොරව ‘අභ්‍යන්තර යටත් විජිතය’ හෙවත් න්‍යෂ්ටික පවුල හා පිරිමි ආදායම් උපදවන්නකු විසින් නඩත්තු කරන ගැහැනියක ස්ථාපිත කර ගැනීම හැකි නොවන්නට ඉඩ තිබිණි.
පරිවර්තනය
අජිත් පැරකුම් ජයසිංහ

යටත්විජිතකරණය හා ගෘහනීකරණය ( 05 )

මෙම ලිපිය අප විසින් ප‍්‍රකාශයට පත් කෙරුනු ඉතිහාස සඟරාවේහි ඵල කරන ලද්දකි. මේ හරහා යටත් විජිතකරණය සම්බන්ධයෙන් මාරියා මීස් හෙලන තියුනු ස්ත‍්‍රීවාදී බැල්ම පුලූල් අවකාශයක් තුළ සාකච්ඡා වීම වැදගත් යැයි අප සිතමු. මේ නිසා මෙම ලිපිය අපගේ බ්ලොග් අඩවියෙහි කොටස් වශයෙන් නැවත පලකරමු. 
 
යටත්විජිතකරණය හා ගෘහනීකරණය ( V – කොටස )
 
ජර්මානු යටත්විජිතකරණය තුළ ගැහැනිය. 

ගැහැනුන් හා අදාළ බි‍්‍රතාන්‍ය හා ලන්දේසි යටත් විජිත ප‍්‍රතිපත්ති පිළිබඳව පහත දක්වන ලද උදාහරණ ප‍්‍රධාන වශයෙන් පෙන්වා දෙන්නේ පිංතූරයේ යටත් විජිත පාර්ශවයයි. Martha Mamozai ගැහැනිය කෙරෙහි ජර්මානු යටත්විජිතවාදයේ බලපෑම පිළිබඳ කරන ලද අධ්‍යයනය පාදක කර ගත් පහත සඳහන් උදාහරණය තුළ ආපසු තම රටේ දී මෙම කි‍්‍රයාවලිය ගැහැනියට බලපාන ආකාරය අඩංගු වේ. යටත්විජිතකරණයේ හා ගෘහනකරණයේ දෙබිඩි ස්වභාවය පූර්ණව අවබෝධ කර ගැනීමට මෙම විස්තරය අපට උපකාරී වනු ඇත.


ජර්මනිය මංකොල්ලයේ හා ලෝකය බෙදා ගැනීමේ තරඟයට ඇතුල් වූයේ තරමක් පසුකාලීනවයි.  ජර්මානු යටත් විජිත සමාජය පිහිවන ලද 1884 සිට පළමු ලෝක යුද්ධය දක්වා, විශේෂයෙන්ම අපි‍්‍රකාවේ, ජර්මානු යටත් විජිත පිහිටුවීම ජර්මානු රජය විසින් දිරිගන්වන ලදී. මැමොසායිගේ අධ්‍යයනය විසින් පෙන්වා දෙන පරිදි යටත් විජිතකරණය ගැහැනුන්ටත් පිරිමින්ටත් එක ආකාරයෙන් බලපෑවේ නැත. එය විසින් ධනේශ්වර ලිංගික ශ‍්‍රම විභජනය භාවිතා කර අපි‍්‍රකානුවන්ගේ ශ‍්‍රම බලය ප‍්‍රාග්ධනයේ හා සුදු මිනිසාගේ ආධිපත්‍යයට යටත් කරන ලදී.  දේශ ගවේශකයන් ආක‍්‍රමිකයන් හා යටත් විජිතකරුවන් අතර සාමාන්‍යයෙන් සිදු වූ පරිදි, 1880 ගණන්වල බටහිර අපි‍්‍රකාවට වැවිලිකරුවන් ලෙස මුලින්ම පැමිණි ජර්මානුවෝද තනිකඩයෝ වූ හ.  බටහිර අපි‍්‍රකාවේ දී ෆ‍්‍රන්ස හා පෘතුගීසි මිනිසුන් කළ පරිද්දෙන්ම ජර්මානුවෝ ද අපි‍්‍රකානු ගැහැනුන් සමග ලිංගික හා වෛවාහක සබඳතාවලට එළඹුණ හ. බොහෝ අය මෙම ගැහැනුන් සමග ස්ථිර පවුල් ගොඩනගා ගත් හ. ටික කලකට පසු දක්නට ලැබෙන්නේ මිශ‍්‍ර ලේ ඇති යුරෝ අපි‍්‍රකානු නව පරපුරක් බිහි වන ආකාරයයි. ජර්මානු පීතෘමූලික හා ධනපති පවුල් නීති අනුව ඔවුහු පූර්ණ ආර්ථික හා දේශපාලන හිමිකම් සහිත ජර්මානු පුරවැසියෝ වෙති. මෙම ප‍්‍රශ්නය පිළිබඳව ජර්මානු පාර්ලිමේන්තුවේ උණුසුම් විවාද ඇති විය. ‘මිශ‍්‍ර විවාහ’ හා ‘අවජාතකයන්’ ගැන ද සුදු ජාතියේ වරප‍්‍රසාද ගැන ද, අනෙක් පැත්තෙන් ජර්මානු වතු හා ව්‍යාපෘති වෙනුවෙන් ඇති තරම් අප‍්‍රිකානු ශ‍්‍රම බලය නිෂ්පාදනය, යටත් කිරීම් හා විනයගත කිරීම එම සංවාදවල අවධානය යොමු විය. නිරිතදිග අපි‍්‍රකාවේ ‘අවජාතක ප‍්‍රශ්නය’ ගැන ආණ්ඩුකාර Friedrich von Lindquist මෙසේ පවසයි. 

‘සුදු ගැහැනු ගණනයට වඩා සුදු පිරිමි ගහණය වැඩි වීම කණගාටුදායක තත්වයකි. එය රටේ අනාගතයට මහත් බලපෑමක් කරනු ඇත. මෙමගින් මිශ‍්‍ර සබඳතාවන්ගේ සැලකිය යුතු වැඩි වීමක් කර තිබේ. ජාතින් මිශ‍්‍ර වීමේ අයහපත් ප‍්‍රතිඵල හැරුණ කොට, දකුණු අපි‍්‍රකාවේ සුදු සුළුතරයට වර්ණ මිනිසුන් මත තම ආධිපත්‍ය පවත්වා ගත හැකි වන්නේ තම ජාතීන් පිරිසිදුව තබා ගැනීමෙන් පමණක් වන හෙයින් මෙම තත්වය ඉතා කණගාටුදායක ය.‘ ( Mamozai විසින් උපුටා දක්වන ලදී. 1982:125 පිටුව)

මේ අනුව, 1905දී යුරෝපීය පිරිමින් හා අපි‍්‍රකානු ගැහැනුන් අතර විවාහය තහනම් කෙරෙන නීතියක් සම්මත කෙරිණි. 1907දී මෙම නීති ගෙන එ්මට පෙර සිදු වූ විවාහයන් ද අවලංගු බවට ප‍්‍රකාශයට පත් කරන ලදී. 1908දී එවන් පවුල්වල ජීවත් වූවන්ටත්, ඔවුන්ගේ ‘අවජාතකයන්ටත්’ පුරවැසි අයිතිය අහෝසි කරන ලදී. එයට ඡුන්ද බලය ද ඇතුළත් විය. මෙම නීතියේ පැහැදිලි අරමුණ වූයේ දේපල අයිතිය සුදු සුළුතරය මත ම තබාගැනීමයි. ඡුන්ද අයිතිය තිබිණි නම් කාලයකදී ඔවුන්ට මැතිවරණවලදී ‘පිරිසිදු’ සුදු ජාතිකයන් අභිබැවිය හැකි විය. එහෙත්, යුරෝපීය මිනිසුන් හා කළු ගැහැනුන් අතර විවාහය තහනම් කරන නීති මගින් යටත්විජිතකාර පිරිමින්ගේ ලිංගික නිදහස ඇහිරීමට ජර්මානු පාර්ලිමේන්තුවට අවශ්‍යය වූයේ නැත. එ් වෙනුවට ජර්මානු පිරිමින්ට වෛද්‍යවරුන් පවා උපදෙස් දුන්නේ අපි‍්‍රකානු ගැහැනුන් අනියම් බිරියන් හා ගනිකාවන් ලෙස යොදා ගන්නා ලෙයසි.  ජර්මානු පාර්ලිමේන්තුව නියෝජනය කරන වෛද්‍යවරයකු වන මැක්ස් බුචර් (Max Bucher) මෙසේ ලියා ඇත.

‘භූමියේ දියණියන් සමග නිදහස් ලිංගික පැවතුම් සෞඛ්‍යයට හානියක් ලෙස නොව වාසියක් ලෙස දැකිය යුතුය. අපි‍්‍රකානු හුදකලාභාවය තුළදී පහසුවෙන් ගොදුරු වන භාවමය පීඩනයන්හිදී කළු හම යට වුව සිටින ‘සදාතනික ගැහැනිය’ අපුරු ආලෝලනයකි. මෙම මානසික වාසියට අතිරේකව එහි පෞද්ගලික ආරක්‍ෂාවට අදාළ ප‍්‍රායෝගික වාසියක් ද තිබේ. සමීප කළු පෙම්වතියක් සිටීම මගින් බොහෝ අනතුරුවලින් ආරක්‍ෂා වීම ද අදහස් වේ. (Mamozai විසින් උපුටා දක්වන ලදී.1982:129)

මෙයින් අදහස් වුනේ කළු ගැහැනුන් සුදු මිනිසුන්ට අනියම් බිරියන් හා ගනිකාවන් වීමට යෝග්‍ය වූ නමුත් ඔවුන් නියම ‘බිරියන්’ වීමට නුසුදුසු බවයි.  එසේ වුවහොත් කලකදී අපි‍්‍රකාවේ දේපල සබඳතා වෙනස් විය හැක. ඩාර්-එස්-සලාම් හා මොරොගොරෝ අතර දුම්රිය මාර්ගය ඉදි කරන සමයේ සෞඛ්‍ය නිලධාරි ලෙස සේවය කළ වෛද්‍යවරයකු වූ Karl Oetkar විසින් කරන ලද ප‍්‍රකාශයකින් මෙය වඩාත් පැහැදිලි වේ. 

‘යළිදු අධාරණය කළ යුතු කාරණයක් නම්, කළු ගැහැනුන් සමග සංසර්ගයේ යෙදෙන සෑම යුරෝපීය පිරිමියෙකු ම ජාතීන් සම්මිශ‍්‍රණය වීම පිළිබඳ පරෙස්සම් විය යුතු බවයි. එවැනි මිශ‍්‍ර වීමක් විසින් අපගේ යටත් විජිත මත අහිතකර බලපෑමක් ඇති කරනු ලැබේ. මෙය බටහිර ඉන්දියාව, බ‍්‍රසීලය හා මැඩගස්කර යන තැන්වලදී පෘථුලව ඔප්පු විය. එවැනි සබඳතා සැලකිය යුත්තේ විවාහයට ආදේශක ලෙස පමණි. සුදු ජාතිකයන් අතර විවාහය සඳහා ඇති රාජ්‍ය පිළිගැනීම හා ආරක්‍ෂාව මෙවැනි සංස්ථා සඳහා ලබා නොදිය යුතුයි.‘ (Mamozai විසින් උපුටා දක්වන ලදී. 1982:130)
මෙහිදී දෙබිඩිකම ඉතා පැහැදිලි ය. විවාහය හා පවුල යනු සුදු හාම්පුතුන් වෙනුවෙන් වෙන් කරන ලද දේ විය. අපි‍්‍රකානු පවුල් බිඳ දැමිය හැකි ය. ගැහැනු හා පිරිමි ශ‍්‍රම කණ්ඩායම්වල දැක්කවිය හැකි ය. ගැහැනු ගනිකා වෘත්තියේ යෙදවිය හැකි විය.

ගැහැනුන් පිළිබඳ මෙම කුහක යටත් විජිතප‍්‍රතිපත්තිය දෙස සදාචාරාත්මක දෘෂ්ටිකෝණයෙන් පමණක් නොබැලීම ද වැදගත් ය.  විනීත ධනේශ්වර විවාහය සහ පවුල ආරක්‍ෂිත ආයතන ලෙස මතු වීම ‘ස්වදේශිකයන්ගේ’ ගෝති‍්‍රක හා පවුල් සබඳතා බිඳ දැමීම සමග සහේතුකව සම්බන්ධ වන බව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය ය. එක් යටත් විජිත නිලධාරියෙකු විසින් දක්වන ලද ආකාරයට ජර්මානු පවුල්වල ජනයා ‘නිර්ධන පංතික කාලකන්නිකමෙන්’ ගොඩ එ්ම යටත් විජිත සූරා කෑම හා යටත් විජිතවල ශ‍්‍රම බලය යටපත් කර ගැනීම සමග සෘජුව ම සම්බන්ධ ය. එම කාලයේදී බොහෝ අය විසින් දක්නා ලද පරිදි ජර්මනිය ප‍්‍රධාන පෙළේ කාර්මික ජාතියක් ලෙස සංවර්ධනය වීම යටත් විජිත අත්පත් කර ගැනීම මත යැපේ. මේ අනුව, පසු කලෙක රීච් චාන්සලර්වරයෙකු වූ Paul von Hindnberg ලියු පරිදි ‘යටත් විජිත නොමැතිව අමු ද්‍රව්‍ය නැත. අමු ද්‍රව්‍ය නොමැතිව කර්මාන්ත නැත. කර්මාන්ත නොමැතිව ප‍්‍රමාණවත් ධනයක් හෝ ජීවන මට්ටමක් නැත. එබැවින් ජර්මානුවන් වන අපට යටත් විජිත අවශ්‍යය. (Mamozai විසින් උපුටා දක්වන ලදී. 1983:27 පිටුව)

මෙම සූරාකෑමේ තර්කය සාධාරණීකරණය කෙරුණේ ‘ස්වදේශිකයන්’ ‘තවම’ සුදු හාම්පුතාගේ මට්ටමට වර්ධනය වී නැති බවට හා මෙම කලාපයේ නිදිබර නිෂ්පාදන බලවේග සංවර්ධනය කර මානව වර්ගයාගේ යහපත වෙනුවෙන් යෙදවීමට ඇති මඟ යටත් විජිතවාදය බවට ගොඩනගන ලද න්‍යාය මගිනි. නිරිතදිග අපි‍්‍රකාවේ යටත් විජිත නිලධාරියෙක් මෙසේ ලියුවේය. 

‘සුදු ජාතියේ සංවර්ධනය අතහැර දැමීමෙන් පමණක් අවබෝධ කර ගත හැකි ස්වදේශික හිමිකමක් නැත. බන්ටු, සුඩාන නීග්‍රෝ හා අපි‍්‍රකාවේ හොටෙන්ටෝට්වරුන්ට තමන්ට  ඕනැ හැටියට ජීවත් වී මිය යාමට අයිතියක් තිබේය යන අදහස විකාරයකි.  යුරෝපයේ ශිෂ්ට ජනතාවන් අතරදී, පවා මෙම නොසැලකිලිමත් ජනයා අපගේ යටත් විජිත දේපලවල නිෂ්පාදන ශක්‍යතා උපරිමව භාවිතා කරමින් තමන් ධනවත් වීමට හෝ සමස්ත මානව දේශය හා ජාතික ධනය ගොඩනැගීමට දායක නොවී, කාලකන්නි නිර්ධන පංතික පැවැත්මකට ගැලි සිටිති.‘ (Mamozai විසින් උපුටා දක්වන ලදී. 1983:58 පිටුව)

සුදු හාම්පුතුන්ට යටත් විජිතවල නිෂ්පාදන ශක්‍යතා ‘සංවර්ධනය’ කිරීමට හා එ් ඔස්සේ ‘ම්ලේච්ඡුයන්’ ශිෂ්ටත්වයට ගෙන එ්මට දෙවියන් විසින් පවරා තිබෙන කාර්යය පිළිබඳ අදහස පසුවට අප විසින් දකිනු ලබන පරිදි යටත් විජිතවාදය හරහා නිෂ්පාදන බලවේග සංවර්ධනය වූ බව විශ්වාස කළ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීහු ද බෙදා හදා ගත්හ. 


මේ අනුව, තුච්ඡු යටත් විජිත හාම්පුතුන් වෙනුවෙන් ළමයින් වැදීම නිරිතදිග අපි‍්‍රකාවේ ‘ස්වදේශික’ ගැහැනුන් විසින් ප‍්‍රතික්‍ෂ්ප කරනු ලැබීම දකිනු ලැබුවේ නිෂ්පාදන බලවේග සංවර්ධනය කිරීමේ යටත් විජිතවාදී කි‍්‍රයාමාර්ගයට එරෙහි ප‍්‍රහාරයක් ලෙයසි.  ජර්මානු ජනරාල් von Trotha හෙරටෝ ජනයාගේ කැරැල්ල කෲර ලෙස මර්දනය කිරීමෙන් අනතුරුව හෙරටෝ ගැහැනු පූර්ණ ලෙසම දරු උපත් වර්ධනය කළ හ. කැරිබියානු කලාපයේ ගැහැනු සේ ම ඔවුහු ද වැවිලිකරුවන් සහ වතු හිමියන් වෙනුවෙන් වහල් ශ‍්‍රමිකයන් නිෂ්පාදනය කර දීම ප‍්‍රතික්‍ෂ්ප කළ හ. 1892 සහ 1909 අතරතුර හෙරටෝ ජනගහණය 80,000 සිට 19,962 දක්වා පහත වැටිණි.  ජර්මානු ගොවීන්ට මෙය බරපතල ගැටළුවක් විය. ඔවුන්ගෙන් එක් අයෙක් මෙසේ ලිවීය.

‘ස්වදේශිකයන්ගේ කැරැුල්ලෙන් පසුව, විශේෂයෙන්ම හෙරටෝ ජනයා දරුවන් නොතැනීමේ ස්ථාවරයක් ගනිති. තමන් සිරකරුවෙකු ලෙස සලකන හේ ඔහු අකමැති සෑම කාර්යයකදී ම එය ඔබගේ අවධානයට ලක් කරයි.  සිය ස්වර්ණමය කම්මැලිකම තමනට අහිමි කළ පීඩකයා වෙනුවෙන් අලූත් ශ‍්‍රම බලකායක් තනා දීමට ඔහු කැමති නැත…….. ගොවිපලේ ඉපදෙන සෑම ළමයෙකු වෙනුවෙන්ම එළු දෙනක වැනි ත්‍යාගයක් දෙමින් මෙම කණගාටුදායක තත්වයට විසඳුම් දීමට කාලයක් තිස්සේ ජර්මානු ගොවීන් දැරූ උත්සාහය නිෂ්ඵල විය.  වර්තමාන ස්වදේශික ගැහැනුන්ගෙන් කොටසක් දිගු කාලයක් තිස්සේ ගතිකා වෘත්තියේ යෙදි සිටින හෙයින් මාතෘ පදවියට නුසුදුසු තත්වයට පත් ව ඇත. තවත් කොටසකට ළමයින් නො වුවමනා අතර ගැබ් ගැනීමක් සිදු වූ විට ගබ්සාව හරහා එයින් නිදහස් වෙති. එවැනි සිද්ධිවලදී බලධාරීන් බැරැරුම් ලෙස එ්වාට මැදිහත් විය යුතු ය.  සෑම සිද්ධියක්ම හොදින් පරික්‍ෂාවට ලක් කර, සිර දඬුවම් ලබා දිය යුතු ය. එය ප‍්‍රමාණවත් නොවේ නම්, වැරදිකරුවන් යදමින් බැඳ තැබිය යුතුය.‘ (Mamozai විසින් උපුටා දක්වන ලදී. 1982:52 පිටුව)

අවස්ථා ගණනාවකදී නීතිය සියතට ගත් ගොවීහු මුරණ්ඩු ගැහැණුන්ට කෲර දඩුවම් දුන් හ. හෙරටෝ ගැහැනුන්ගේ ස්ථාවරය තුළ අප නැවතත් දකින්නේ අපි‍්‍රකානු ගැහැනුන් යටත් විජිත කි‍්‍රයාවලියේ අසරණ ගොදුරු බවට පත් නො වු බවයි.  යටත් විජිත නිෂ්පාදය තුළ සිය සාපේක්‍ෂ බලය නිවැරදිව හදුනා ගත් ඔවුහු එය පාවිච්චි කළ හ. ඉහත දී උපුටා දක්වන ලද ජර්මානු ගොවියාගේ විස්තරයට අදාළව කිව යුතු දෙයක් නම්, උපත් වර්ජනයක නියලූණේ හෙරටෝ ගැහැනුන් වන මුත්, ඔහු සඳහන් කරන්නේ හෙරටෝ (මිනිසුන්) ගැන පමණි. වාර්තාකරණයේදී පවා යටත් විජිත පිරිමි යටත් ගැහැනුන්ගේ පුද්ගලභාවය හා ඔවුන්ගේ මුලපිරුම් හෙළා දුටුව හ. සියලූ ස්වදේශිකයෝ ම්ලේච්ඡුයෝ, වනචාරීහු වූහ . ඔවුන් අතරින් වඩාත්ම ම්ලේච්ඡු ස්වදේශික ගැහැනු ය.
 
අපි‍්‍රකාවේ සුදු ගැහැනු

යටත් විජිත කි‍්‍රයාවලියේ ‘අනෙක් පැත්ත’ පිළිබඳව ද Martha Mamozai ආකර්ශණීය තොරතුරු සම්පාදනය කරයි. එනම්, විශේෂයෙන්ම අපි‍්‍රකානු ගැහැනුන් හා අපි‍්‍රකානුවන් යටපත් කිරීමට යටත් විජිත පුරෝගාමීන් සමග විවාහ වී පැමිණි ජර්මානු ගැහැනුන් දායක වූ අන්දමයි.

කලින් කී පරිදි, සුදු යටත් විජිතකරුවන් මුහුණ දුන් එක් ගැටළුවක් වන්නේ යටත් විජිත කළ සුදු හාම්පුතුන්ගේ පරපුරක් ජනනය කිරීමයි. මෙය කළ හැකි වූයේ ‘පීතෘභූමියේ’ සුදු ගැහැනු යටත් විජිත කරා ගොස් ‘එහි අපේ කොල්ලන් ’ කසාද බැඳීමට සූදැනම් වී නම් පමණි. බොහෝ වැවිලිකරුවන් ‘නිර්භීත තනිකඩයන්’ යන ප‍්‍රවර්ගයට අයත් වූ හෙයින් ගැහැනුන් මනාලියන් ලෙස යටත් විජිත කරා යැවීමට අමතර මහන්සියක් දැරීමට සිදු විය. සුදු ආධිපත්‍යය පිළිබඳ බලපෑම් කළ ජර්මානුන් විසින් පෙන්වා දෙන ලද පරිදි, කලකදී මෙම පිරිමින් යුරෝපීය සංස්කෘතියෙන් හා ශිෂ්ටාචාරයෙන් විතැන් කිරීමට ඉඩ ඉඩ තිබෙන ‘කාපිරි ගැහැනුන්ගෙන්’ යටත් විජිතවල සුදු මිනිසුන් බේරා ගැනීම ගැහැනුන්ගේ විශේෂ යුතුකමක් විය.

මෙම ආමන්ත‍්‍රණයට ප‍්‍රතිචාර ලෙස Frau Adda von Liliencron ‘ජර්මානු යටත් විජිත සමාජයේ කාන්තා සංගමය’  පිහිටෙව්වාය. මෙම සංගමයේ අභිමතාර්ථය වූයේ යටත් විජිත ගෘහ පාලනය පිලිබඳ තරුණියන්ට විශේෂ පුහුණුවක් ලබා දී, ඔවුන් මනාලියන් ලෙස අපි‍්‍රකාවට යෑවීමයි.  ඇය මේ සඳහා ප‍්‍රධාන වශයෙන් බඳවා ගත්තේ ගොවි සහ කම්කරු පංතික තරුණියන් ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් නගරවල ගෘහ සේවිකාවන් ලෙස වැඩ කර තිබිණි. 1898 දී පළමු වරට ‘එහි අපේ කොල්ලන්ට’ ‘නත්තල් තෑග්ගක් ’ තනිකඩ කෙල්ලන් 25ක් දකුණු අපි‍්‍රකාවට යවන ලදී. Mamozai මෙම ගැහැනුන්ගෙන් කොපමණ සංඛ්‍යාවක්, අපි‍්‍රකානු ගැහැනුන්ට ශිෂ්ටත්වයේ ගුණධර්ම වන පිරිසිදුකම, කලට වෙලාවට වැඩ කිරීම, කීකරුකම හා කාර්යක්‍ෂමතාවය ඉගැන්වීම තම තම කාර්යභාරය ලෙස සැලකූ සුදු ධනපති නෝනාවරුන් ලෙස මතු වූවා ද යන්න පෙන්වා දෙයි.  නොබෝදා වන තුරු පීඩිතභාවයේ සිටි මෙම ගැහැනු කෙතරම් කෙටි කලකින් ‘කිළිටි හා කම්මැලි ස්වදේශිකයන්‘ පිළිබඳ යටත් විජිත සමාජයේ පැතිරී තිබුණ පූර්ව විනිශ්චය වැළඳ ගත්තේ ද යන්න නිරීක්‍ෂණය කිරීම විස්මය උපදවයි.

යටත් විජිත ගැහැනුන් යටත් කිරීම ඔස්සේ බිරින්දන් හා ‘ජාතිය හා වර්ගයා බෝ කරන්නියන් ලෙස’ එහි ගිය යුරෝපීය ගැහැනුන් කිහිප දෙනා නියම ගෘහනියන් ලෙස නැගී සිටිය හ. එපමණක් නොව, ‘මව් රටේ’ ගැහැනු ද, ධනපති පංතියෙන් පටන් ගෙන පසුව නිර්ධන පංතිය දක්වා ශීඝ‍්‍රයෙන් ගෘහස්ථකරණය වී නියම ගෘහනියන් ලෙස ශිෂ්ට වූ හ. යටත් විජිතවාදය හා අධිරාජ්‍යවාදය ව්‍යාප්ත වූ මෙසමයෙහිදී ම යුරෝපයයේ හා එක්සත් ජනපදයේ ගෘහනියගේ මතු වීම ද දැකිය හැකි ය. මතුවට මම කතන්දරයේ මෙම පැත්ත ගැන අවධානය යොමු කරමි.

ගෘහනීකරණය 
පළමු අවධිය: නෝනාවරුන්ට සුවපහසුව

මායාකාරියන් ඝාතනය හරහා යුරෝපයේත්, අපි‍්‍රකාවේ, ආසියාවේ හා ලතින් ඇමරිකාවේ යටත් විජිත කි‍්‍රයාවලිය තුළත් ගැහැනිය යටත් කිරීමේ අනෙක් පැත්ත වන්නේ, පළමුව යුරෝපයේ ප‍්‍රාග්ධන සමුච්චකරණ පංති හරහා සහ පසුව ඇමරිකා එක්සත් ජනපදයේ ද, ගැහැනිය පාරිභෝගිකාවක හා ධනයේ හා සුවපහසුවේ ප‍්‍රදර්ශිකාවක ලෙස ද පසුව ගෘහනියක ලෙස ද නිර්මාණය කිරීමයි. අප අමතක නොකළ යුතු කාරණයක් වන්නේ යටත් විජිතවලින් මංකොල්ල කන ලද හා විකුණන ලද සියලූ භාණ්ඩ ජනතාවගේ දෛනික පැවැත්ම සඳහා අවශ්‍ය එ්වා නොව, සුවපහසු ද්‍රව්‍ය බවයි. එ්වා වනාහි මොලූක්කන් දූපත්වලින් ගෙනා කුළුබඩු, ඉන්දියාවෙන් ගෙනා මැණික්, සේද හා කපු පිළි, කැරිබියානු රටවලින් ගෙනා සීනි, කොකෝවා හා කුළුබඩු, ඇමරිකාවේ හිස්පැනෝවෙන් ගෙනා වටිනා ලෝහ ආදියයි. මුලදී මේවා පරිභෝජනය කරනු ලැබුවේ එ්වා මිළ දී ගැනීමේ වත්කම තිබුණු සුළු පිරිස පමණි. ‘සුඛවිහරණය හා ධනවාදය‘ (Luxury and Capitalism,1922) නම් සිය කෘතියෙහි Werner Sombart ගොඩ නගන ප‍්‍රවාදය වන්නේ මෙම බොහෝ දුර්ලභ සුඛෝපභෝගී යටත් විජිත භාණ්ඩ සඳහා වෙළඳපොළ නිර්මාණය කරනු ලැබුවේ 17 හා 18 සියවස්වලදී  ප‍්‍රංශයේ හා එංගලන්තයේ පරිපූර්ණවාදී කුමාරවරුන්ගේ හා රජවරුන්ගේ අනියම් බිරින්දන් ලෙස මතු වූ ගැහැනු පංතියක විසින් බවයි. සොම්බාට්ට අනුව, කාන්තාවන්ගේ ඇඳුමේ නව විලාසිතා, සුවඳ විලවුන්, ආහාර පුරුදු හා විශේෂයෙන්ම මහත්වරුන්ගේ ගෘහ අලංකාරණය හා අදාළ නව විලාසිතා නිර්මාණය කරන ලද්දේ මෙම පංතිය විසිනි. ප‍්‍රභූ තන්ත‍්‍රයේ රණකාමී මිනිසුන් හෝ වෙළඳ පංතිය හෝ අතර මෙවන් සංකීර්ණ  සුඛවිහරණ සංස්කෘතියක් නිර්මාණය කිරීමේ තනි හැකියාවක් නොතිබිණි. එය ගොඩනැගුණේ සුඛ විහරණ සත්වයන් වූ ගැහැනුන් වටා ය.  සොම්බාට් කියන පරිදි, ධනවාදයට තීරණාත්මක උත්පේ‍්‍රරකය සැපයු නව සුඛවිහරණ ‘අවශ්‍යතා’ නිර්මාණය කරනු ලැබුවේ ඔවුන් විසිනි. පරිපූර්ණවාදී රාජ්‍යය විසින් ගොඩනගාගන්නා ලද මුදල් වෙත ළගා වීමෙන් මුල් කාලීන ධනවාදය සඳහා වෙළඳපොළ ඔවුන් විසින් නිර්මාණය කරන ලදී.

16 වන හා 17 වන සියවස්වලදී ඉතාලියානු, ප‍්‍රංශ හා එංගලන්ත රජවාසලවල සුඛවිහරණ පරිභෝජනයේ සංවර්ධනය පිළිබඳ සවිස්තර වාර්තාවක් සොම්බාට් සපයයි. විශේෂයෙන්ම 14වන ලූවී රජු  සමයේදී සුඛවිහරණ වියදම්වල ප‍්‍රවණතාවක් ඔහු පැහැදිලිව හඳුනා ගනියි. 1542දී ප‍්‍රංශයේ රජුගේ සුඛවිහරණ වියදම Livres 2,995,000 විය. 1680 වන විට එය Livres 28,813,55දක්වා ඉහළ ගියේය. සොම්බාට් කියන පරිදි එම දැවැන්ත ඉහල යාම පසුපස ඇත්තේ මෙම වැඩවසම් ප‍්‍රධානීන් තුළ තම අනියම් බිරියන්ට හා අභිසාරිකාවන්ට තිබු ලෝලයයි. La Valliėre තිබු පේ‍්‍රමය විසින් වර්සෙල්සය ගොඩනැගීමට ලූවී රජු පොළඹවන ලද්දේ එපරිද්දෙනි. පැරණි පාලන (Ancien rėgime) සංස්කෘතියේ නියෝජිතවරිය වන Mme de Pompadourගේ අයවැය යුරෝපයේ අන් කිසිදු රැජිනකගේ වියදමට වඩා වැඩි විය. බලයේ සිටි 19 වසර තුළදී ඇය Livres 36,327,268 ක් වැය කළාය. (Sombart 1922: 98-99)

පළමුව යුරෝපීය රාජවාසලවලින් පැන නැගී පසුව අලූතෙන් ධනවත් වු Nouveaux riche යුරෝපීය ධනපති පංතිය විසින් අනුකරණය කරන ලද මෙම සුඛ විහරණයන්ගේ සංවර්ධනයට සුඛෝපභෝගි සළුපිළි, නිවාස, ගෘහ භාණ්ඩ, ආහාර හා සුවඳ විලවුන් ආදියෙහි ඇලී ගැලී සිටි මහා අභිසාරිකාවන්ගේ ගතිගුණ බල පෑ බවට සොම්බාට් කරන ප‍්‍රකාශයට ස්ති‍්‍රවාදීන් එකඟ නොවනු ඇත. ඔවුන් විසින් රැස් කරන ලද ධනයේ ප‍්‍රදර්ශන භාණ්ඩ බවට ගැහැනුන් පත් කිරීම සඳහා ධනය වැය කිරීමේදී පවා ඔවුන් විසින් කරන ලද්දේ ගැහැනුන් දුෂ්ටත්වයට නැංවීමයි. මෙයින් පහත අන්දමේ අදහසක් පැන නැගෙන්නේ නැද්ද? ආර්ථික හා දේශපාලන බලය විදහා පෙන්වූ, (මාක්ස්වාදී අරුතින්) ඓතිහාසික ‘යටත්වාසීන්’ වූ මේ මිනිසුන් නටවන ලද ඇත්ත බලය ගැහැනු ද? එහෙත්, ඊට අමතරව, ධනවාදය බිහි වුණේ ජනතාවගේ වර්ධනය වන යටත් විජිත අවශ්‍යතා සපිරීම සඳහා නොව, සුඛෝපභෝගී පරිභෝජනයෙන් බවට සොම්බාට් විසින් ගොඩනගනු ලබන ප‍්‍රවාදය යටත් විජිතවාදය හා ගෘහනීකරණය අතර සම්බන්ධය පිළිබඳ අපගේ සාකච්ඡාවට සෘජුවම සම්බන්ධ ය. ඔහු පැහැදිලිව පෙන්වා දෙන පරිදි මුල් කාලීන වෙළඳ ධනවාදය ප‍්‍රායෝගිකව සහමුලින් ම පදනම් වුණේ යුරෝපීය ප‍්‍රභූන් විසින් පරිභෝජනය කරන ලද යටත් විජිතවලින් ගෙන ආ සුඛෝපභොගී භාණ්ඩ පරිභෝජනය මතයි.  මෙම යුගයේ එක් වෙළෙඳ ලැයිස්තුවක අඩංගු වන ද්‍රව්‍ය මෙසේය. කෝමාරිකා, බාම්, ඉඟුරු, කපුරු, කරඳමුංගු, කහ වැනි පෙරදිග ඖෂධ, ගම්මිරිස්, කරාබුනැටි, සීනි, කුරුඳු, සාදික්කා වැනි කුළුබඩු, සඳුන් වැනි සුවඳ ද්‍රව්‍ය, ලාක්ෂා, හෙනා වැනි වර්ණක, සේද හා ඊජිප්තියානු හණ වැනි රෙදි පිළි සඳහා අමුද්‍රව්‍ය. කොරල්, මුතු, ඇත්දත්, පිගන් මැටි, අබරණ හා ගල් වර්ග, සේද, විල්ලූද, සිනිඳු හණ, ලෝම, තුනී කපු හා පට  වැනි රෙදි.

18,19, සියවස්වලදී මෙම ලැයිතුවට තවත් බොහෝ ද්‍රව්‍ය එකතු විය. එනම් නව යටත් විජිත වතුවල වගා කරන ලද, සීනි, කෝපි, තේ, කොකෝවා, ආදියයි. එංගලන්තයේ නැගී එන තේ පරිභෝජනය ගැන සොම්බාට් විස්තරයක් කරයි. 1906 දී සාමාන්‍ය ඉංගී‍්‍රසි පවුලක තේ පරිභෝජනය රාත්තල් 6ග5 කි. එක් එක් අවධිවලදී මේ මට්ටමට ලඟා වූ පවුල් ගණන මෙසේය.

1668 දී     පවුල් 3 යි
1710 දී     පවුල් 2,000 යි

1730 දී     පවුල් 12,000 යි

1760 දී     පවුල් 40,000 යි

1780 දී     පවුල් 140,000 යි (මූලාශ‍්‍රය:Sombart 1922:146 පිට)
 
අප‍්‍රිකාවේ, ආසියාවේ සහ ඇමරිකාවේ ජනයා සූරාකෑම මත පදනම් වූ යුරෝපීය ධනවතුන්ගේ මෙම සුඛවිහරණයන් යුරෝපීය ගැහැනියට අදාළ වන්නේ කෙසේද? එක්තරා, කාන්තා පංතියකගේ අනුරාගයන් හා සම්බන්ධ යයි පෙනෙන මේ සුඛවිහරණ නිෂ්පාදනයේ ප‍්‍රවණතාව සොම්බාට් මෙසේ හඳුනාගනියි.

1.    ගෘහස්ථකරණයේ ප‍්‍රවණතාවථ  මධ්‍යතන යුරෝපයේ දී පොදු දෙයක් වූ සුඛවිහරණය දැන් පෞද්ගලික විය. සුඛවිහරණ ප‍්‍රදර්ශනය සිදු වන්නේ පොදු උත්සවවලදී හෝ වෙළෙඳපොලේදී නොව, ධනවතුන්ගේ නිවාස හා වෙන් කරන ලද මැදුරු තුළ දී ය.

2.    වාස්තවිකකරණයේ ප‍්‍රවණතාවථ  මධ්‍යතන යුගයේදී ධනය ප‍්‍රකාශමාන වූයේ නිලකාරයන් හෙවත් ඉඩම්වල මෙහෙ කරමින් වෙසෙන ජනයාගේ සංඛ්‍යාවෙන් හෝ කුමාරයෙකුට ගණනය කළ හැකි පිරිවරෙනි. දැන් ධනය ප‍්‍රකාශමාන වෙන්නේ ද්‍රව්‍යමය භාණ්ඩයන්ගෙනි. ධනයෙන් මිළදී ගත් භාණ්ඩවලිනි. ඇඩම් ස්මිත් කියන පරිදි, කෙනෙක් ‘ඵලදායී නො වන’ සුඛවිහරණයේ සිට ‘ඵලදායී සුඛවිහරණයට’ ගමන් කරයි. (ධනවාදී අර්ථයෙන් මේ වනාහි ධනේශ්වර ව්‍යවසායක වැටුප් ශ‍්‍රමිකයෝ ය.) (Sombart 1922:119) සොම්බාට්ගේ අදහස පරිදි, විවේකී පංතියේ ගැහැනුන්ට වාස්තවික කරන ලද සුඛවිහරණ (වැඩිපුර භාණ්ඩ) සංවර්ධනය කිරීමේ අභිරුචියක් තිබිණි. සීනි හා කෝපි ආශ‍්‍රිතව ද සමාන ප‍්‍රවණතා නිරීක්‍ෂණය කළ හැකි ය. 8වන සියවසේ යුරෝපයේ බොහෝ ජනයා අතර පැණි වෙනුවට සීනි භාවිතය පැතිරී නොතිබිණි, 19 වන සියවස පමණ දක්වා සීනි යුරෝපීය ධනවතුන්ගේ නිදර්ශනාත්මක සුඛෝපභෝගී භාණ්ඩයක් විය. (Sombart 1922:147)

යුරෝපය, ඇමරිකාව, අපි‍්‍රකාව සහ පෙරදිග අතර වෙළඳාම 19 වන සියවස දක්වාම ප‍්‍රධාන වශයෙන්ම රැදුණේ ඉහත සඳහන් සුඛෝපභෝගී භාණ්ඩ මත ය.  නැගෙනහිර ඉන්දියාවේ සිට ප‍්‍රංශයට 1776 දී කරන ලද ආනයන වටිනාකම ප‍්‍රෑන්ක් 36,241,000 විය. එය බෙදී ගියේ මෙසේය.

කෝපි ෆ‍්‍රෑන්ක් 3,248,000
ගම්මිරිස් හා කුරුඳු ෆ‍්‍රෑන්ක් 2,449,000

මුස්ලින්(තුනී කපු) ෆ‍්‍රෑන්ක් 12,000,000

ඉන්දීය හණ ෆ‍්‍රෑන්ක් 10,000,000

පිඟන් මැටි භාණ්ඩ ෆ‍්‍රෑන්ක් 200,000

සේද ෆ‍්‍රෑන්ක් 1,382,000

තේ ෆ‍්‍රෑන්ක් 3,399,000

වෙඩිලූණු ෆ‍්‍රෑන්ක් 3,380,000

එකතුව    ෆ‍්‍රෑන්ක්    36.241,000
(මූලාශ‍්‍රය Sombart 1922:148 පිට)

සොම්බාට් වහල් වෙළඳාමෙන් ලබන ලද ලාභය ද සුඛවිහරණ නිෂ්පාදනය හා පරිභෝජනය හා අදාළ සංඛ්‍යා සමග යොදයි. (සීනි, කොකෝවා,කෝපි, වැනි සුඛෝපභෝගී ද්‍රව්‍ය නිපදවන ලැබුවේ වහලූන් විසින් බැවින් මෙය තර්කානුකූල ය.) වහල් වෙළඳාම සංවිධානය කෙරුණේ තනිකරම ධනේශ්වර පිළිවෙළකටයි. 

එංගලන්තයේ තොග හා සිල්ලර වෙළඳපොල සංවර්ධනය වූයේ ද 17 හා 19 සියවස්වල තර්කනය මත ම පදනම් ව ය. ස්වදේශික වෙළඳපොළට ආදේශක ලෙස මතු වූ පළමු නාගරික මහා සාප්පු  විසින් අලෙවි කරනු ලැබුවේ ද සුඛෝපභෝගී භාණ්ඩයි.

3.    කාලය සංකෝචනය වීමේ ප‍්‍රවණතාවයථ ඉහතදී ස්වදේශික අතිරික්තය නිෂ්පාදනය සඳහා ගත වූ දිගු කාලය හේතුවෙන් සුඛ විහරණ පාරිභෝජනය සීමිත වු නමුදු, දැන් වසරේ  ඕනෑම දිනයකදී ද පුද්ගල ජීවිතය පුරාම ද එ්වා පරිභෝජනය කළ හැකි විය. 

මා සිතන අන්දමට වැරදි ලෙස, සොම්බාට් මෙම ප‍්‍රවණතාවට ද හේතුව ලෙස, තම ආදරවන්තයන්ගේ පේ‍්‍රමයේ සංකේත ලෙස තම ආශාවන් වහා සංතෘප්ත කිරීම ඉල්ලා සිටි විවේකී පංතියේ ගැහැනුන්ගේ පුද්ගලවාදය හා නොඉවසිල්ල දක්වයි.

ඉහත ප‍්‍රවණතා අතරින් ගෘහස්ථකරණයට හා පෞද්ගලීකරණයට වූ ප‍්‍රවණතාව 19 හා 20වන සියවස්වලදී ධනවාදයේ මධ්‍යස්ථානවල ‘යහපත් ගැහැනියගේ’ නව ප‍්‍රතිරූපය නිර්මානය කිරීමේදී විශාල බලපෑමක් කළේ ය. ගැහැනිය ‘මව’ හා ‘ගෘහනිය’ බවට පත් වීම, මිනිසුන් විසින් පාලනය කරන නිෂ්පාදනයේ හා සමුච්චකරණයේ රඟමඩලෙන් බැහැර කර, රැකවරණය සලසන ලද පවුල ඇගේ බල ප‍්‍රදේශය බවට පත් කිරීම හා ‘ආදරය’ පරිභෝජනයේ පෞද්ගලික රඟමඬල බවට පත්වීම, එහි කොටස් වේ.

මීළඟට මවිසින් හඳුනාගනු ලබන්නේ ‘ආදරය’ හා පරිභෝජනය ගැන සැලකිලිමත්, පිරිමි ‘උපයන්නකු’ මත යැපෙන. ගෘහස්ථගත පෞද්ගලික ගැහැනියක පිළිබඳ පරමාදර්ශය නිර්මාණය වන ආකාරයයි. මෙය පළමුව ධනපති පංතිය තුළ ද, ඊළඟට ඊනියා සුළු ධනේශ්වරය තුළ ද, අවසානයේදී වැඩ කරන ජනයා හෙවත් නිර්ධන පංතිය තුළ ද සිදු වේ. 

පරිවර්තනය
අජිත් පැරකුම් ජයසිංහ

යටත්විජිතකරණය හා ගෘහනීකරණය ( 04 )

මෙම ලිපිය අප විසින් ප‍්‍රකාශයට පත් කෙරුනු ඉතිහාස සඟරාවේහි ඵල කරන ලද්දකි. මේ හරහා යටත් විජිතකරණය සම්බන්ධයෙන් මාරියා මීස් හෙලන තියුනු ස්ත‍්‍රීවාදී බැල්ම පුලූල් අවකාශයක් තුළ සාකච්ඡා වීම වැදගත් යැයි අප සිතමු. මේ නිසා මෙම ලිපිය අපගේ බ්ලොග් අඩවියෙහි කොටස් වශයෙන් නැවත පලකරමු. 
 

යටත්විජිතකරණය හා ගෘහනීකරණය (IV – කොටස)

යටත්විජිතවාදය යටතේ ගැහැනිය


රෝඩා රෙඩොක් (Rhoda Reock, 1984) පෙන්වා දී ඇති පරිදි කැරිබියානු වහල් භාවය හා වහල් ගැහැනිය පිළිබඳ යටත්විජිතවාදීන්ගේ ආකල්පය පැහැදිලිවම පදනම් වූයේ ධනේශ්වර මිල -වාසි ගණනය කිරීම් මතය. වහල් ගැහැනුන්ට තවත් වහලූන් ජනනය කිරීමට ඉඩ දිය යුතු ද නැද්ද යන කාරණයේ දී මෙය විශේෂයෙන්ම සත්‍ය විය.  නූතන වහල් වෙළදාමේ හා වහල් ආර්ථිකයේ සියවස්වලදී (1655 සිට 1838 දක්වා)  මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයුණේ ‘මාතෘභූමිවලදී’ අදාළ වූ ක්‍රිස්තියානි ආචාර ධර්ම අනුව නොව, ධනේශ්වර වැවිලි කරුවන්ගේ සමුච්ඡකරණ අවශ්‍යතා අනුව ය. මේ අනුව, 1655 සිට 18වන සියවස මුල දක්වා වූ මුල් කාලපරිච්ඡේදයේ දී, එනම් බොහෝ වතු වහලූන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කුඩා වගාවන් වූ සමයේ දී, වැවිලිකරුවන් යැපුණේ ගොවි ප්‍රජනන මාදිලිය තුළ හා වහල් ජනගහණයේ ස්වභාවික පුනර් ජනනය මතයි. දෙවන කාලපරිච්ඡේදය වන්නේ ඊනියා සීනි විප්ලවයේ සමය හෙවත් මහා වතුවල මහා පරිමාණ සීිනි නිෂ්පාදනය හදුන්වා දීමයි. 1760 දී පමණ ඇරඹී 1800 දක්වා පමණ පැවති මෙම  මුල් යුගයේ දී වහල් ගැහැනුන් පවුල් පන්සල් වීම හා ළමයින් වැදීම දැඩි ලෙස අධෛර්යය කරන ලදී. කතෝලික (ෆ්‍රන්ස) මෙන්ම ප්‍රොතෙස්තන්ත (බ්‍රිතාන්‍ය සහ ලන්දේසි) ආධිපත්‍යයන් යටතේ සියලූ සීනි යටත්විජිතවල තත්වය මෙය විය. ගර්භනී තත්වයට පත්වූ වහල් ගැහැනුන්ට සාප කර, පීඩාවට පත්කරන ලදී. හැරත් උක්වතුවල කොඳු කැඩෙන වැඩ ගැහැනුන්ට කුඩා දරුවන් රැක බලා ගැනීමට ඉඩ සැලසුවේ නැත. G.M.Hall මහතා කියුබානු වැවිලිකරුවන් පිළිබඳව ප්‍රකාශ කර තිඛෙන පහත සඳහන් කරුණ විසින් මෙම උත්පත්ති විරෝධී ප්‍රතිපත්තිය පසුපස පැවති හේතුව ප්‍රකාශ කෙරිණි.

ගර්භනි සමය තුළදී හා ඉන් පසුව මාස කීපයක් තුළ වහල් ගැහැනිය අප්‍රයෝජනවත් වූ අතර ඇය පෝෂණය කිරීම ද වියදම් අධික විය. මෙම ආදායම් අහිමි වීම හා අමතර වියදම දැරුණේ ස්වමියාගේ සාක්කුවෙනි. බොහෝ විට දීර්ඝ කාලීන වූ අලූත් බිළිඳුන් බලා ගැනීම වෙනුවෙන් ගෙවීමට සිදු වූයේ ඔහුටයි. වතුවල ඉපදී වැඩ කරන වියට එළඹෙන වහලකුගේ වටිනාකම වෙළඳපොලෙන් මිළ දී ගන්නා වහලෙකුට වඩා ඛෙහෙවින් අධික වීම හේතුවෙන් මෙම වියදම පිළිබඳ සැලකීම අවශ්‍ය විය.(G.M.Hall, රෙඩොක් විසින් උපුටා දක්වන ලදී, 1984:16) 

ෆන්සශ යටත් විජිතයක් වූ ශාන්ත ඩොමිනික්හි වැවිලිකරුවන් විසින් ගණනය කරන ලද පරිදි මාස 18 ක කාලය තුල වහල් ගැහැනියකගේ වැඩවල වටිනාකම Livres (ෆන්සශයේ පැරණි මුදල් එ්කකයකි) 600 ක් විය. මාස 18 ගණනය කරන ලද්දේ ගර්භනී හා කිරි දෙන  සමය වෙනුවෙනි. එම කාල පරිච්ඡේදය තුළ වහල් ගැහැනියට කළ හැක්කේ සාමාන්‍ය වැඩවලින් අඩක් පමණි. එ අනුව වහල් හිමියාට Livres 300 ක් අහිමි වේ. ‘මාස 15 ක් වයස් වන වහලෙකු මෙතරම් වටින්නේ නැත. ‘(G.M.Hall, රෙඩොක් විසින් උපුටා දක්වන ලදී, 1984:16) මෙම ප්‍රතිපත්තියේ ප්‍රතිඵලය ලෙස, බොහෝ නිරීක‍ෂකයන් විසින් සොයාගෙන ඇති පරිදි, මෙම යුගයේ සිට 19 වන සියවස දක්වාම වහල් ගැහැනුන්ගේ ‘සරුභාවය’ අතිශය පහත් මට්ටමක පැවතිණි.  (රෙඩොක්, 1984) 

18 වන සියවස අග හරිය වන විට, බටහිර අප්‍රිකාව තව දුරටත් වහල් දඩයම සඳහා තෝතැන්නක් වුයේ නැත. එසේම, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් දුටුවේ අපි්‍රකාව අමුද්‍රව්‍ය හා වානිජ මූලාශ්‍රයක් ලෙස තම අධිකාරයට ඈඳා ගැනීම වඩාත් ලාභදායී බවයි. මේ අනුව බ්‍රිතාන්‍ය ධනපති පංතියේ වඩත් ‘ප්‍රගතිශීලි’ කොටස වහල් වෙළදාම අහෝසි කිරීමට උපදෙස් දුන් අතර, 1807 දී එය සිදු විය. ඔවුහු ස්වදේශික බෝ කිරීමට දිරි දුන්හ. එහෙත් මෙම හදිසි ප්‍රතිපත්තිමය වෙනස වහල් ගැහැනුන්ට බලපෑවේ මඳ වශයෙනි. රෝඩා රෙඩොක් පෙන්වා දී ඇති පරිදි වහල් භාවයේ දිගු කාලපරිච්ඡේදය තුළ වහල් ගැහැනු මාතෘ විරෝධී ආකල්පයක් තුළ වැඩුණ හ. එය වහල් ක්‍රමයට ප්‍රතිරෝධයක් විය. 19වන සියවසේ මැද භාගය පමණ දක්වා ඔවුහු උපත් වර්ජනයක් වැන්නක් ක්‍රියාත්මක කළහ. ගැබ් ගැනිමක් සිදු වු විට එය ගබ්සා කර ගැනීම සඳහා ඔවුහු ශාඛමය විෂ ඛෙහෙත් ගත් හ. අලූත උපන් බොහෝ බිළිඳුන් ‘ස්වාමියාගේ ධනවත් වීම වෙනුවෙන් මුළු ජීවිතයම මහන්සි වී වැඩ කිරිමට ඉරනම් වී තිඛෙන වහලූන් ලෙස ඔවුන් වැඩීම කෙරෙහි ඇති ගැහැනුන්ගේ ස්වභාවික අකමැත්ත හේතුවෙන්’ මිය යාමට ඉඩ හරින ලදී. (Morino-Fraginals 1976, රෙඩොක් විසින් උපුටා දක්වන ලදී, 1984:17) රෝඩා රෙඩක් දකිනා පරදි මෙය වනාහි ‘පාලක පංතියේ දෘෂ්ටිවාදය, වෙනස්, එහෙත් සම්බන්ධිත භෞතික හේතු මත පීඩිතයන් විසින්ද පිළි ගනු ලැබු දෘෂ්ටිවාදය වීමකි.’ (රෙඩොක්, 1984:17)


ධනපති ප්‍රාග්ධන සමුච්චකරණය සඳහා අවශ්‍ය නිෂ්පාදන තත්වයක් ලෙස අප්‍රිකානු ගැහැනුන්ට සැලකීමේ විපාක දැන් යටත් විජිත ස්වාමීහු භුක්ති වින්දහ. කැරිබියානු කලාපයේ වතුවල ශ්‍රම හිඟය වහල් ගැහැනුන්ගේ උපත් වර්ජනය හේතුවෙන් බරපතල ප්‍රශ්නයක් වු අතර කියුබාවේ මිනිසුන් බෝ කිරීම ස්ථීර ව්‍යාපාරයක් බවට පත් විය. (Morino-Fraginals 1976, රෙඩොක් විසින් උපුටා දක්වන ලදී, 1984:18) වහල් ගැහැනුන්ගේ පුනර්ජනන ධාරිතාවන් පිළිබඳ යටත් විජිතකරුවන්ගේ ප්‍රතිපත්තිමය වෙනස රෝඩා රෙඩෙක් පහත සඳහන් ආකාරයට සාරාංශගත කරයි.
‘අප්‍රිකාව මානව ශ්‍රමය නිපදවීමේ ස්ථානයක් ලෙස පමණක් ධනේශ්වර ලෝකයට යා කර තබා ගත් තාක් කල්, ශ්‍රමය ස්වදේශිකව නිපදවීමේ අවශ්‍යතාවක් නොතිබිණි. මිල-වාසි  විශ්ලේෂණය හරහා වැවිලිකරුවෝ වඩාත්ම ලාභදායී ක්‍රියාමාර්ගයට එළඹුණ හ. එය තවදුරටත් ඔවුනට ලාභදායී නොවු විට, තම තත්වය වතු හිමියන්ගේ දේපලක් වීම බව දත් වහල් ගැහැනුන් විසින් දක්වන ලද ප්‍රතිරෝධයෙන් මවිත වූ හ. උපත් පාලන හැකියාවන් මගින් වසර 100කටත් වඩා බිරින්දන් හා මවුන් නොවී සිටි කැරිබියානු ගැහැනුන්ට වතු ආර්ථීකයට දැඩි බලපෑමක් කිරීමේ හැකියාව තිබිණි.’(රෙඩොක්, 1984:18) වහල් ගැහැනුන්’ බිරින්දන් හා මවුන් නොවී සිටි’ කාල පරිච්ඡේදය වනාහි යුරෝපය ගැහැනිය ගෘහස්ථකරණය කෙරුණ හා පති භක්තිය හා මාතෘත්වය ඔවුන්ගේ ‘ස්වාභාවික’ කාර්යය බවට දෘෂ්ටිවාදිමය ලෙස සලකුණු කෙරුණ යුගය ම විය.  (Badinter, 1980) එක් ගැහැනු කණ්ඩායමක් ශද්ධ ශ්‍රම බලකායක් හෙවත් ශක්ති ප්‍රභවයක් ලෙස සැලකෙද්දි තවත් ගැහැනු කණ්ඩායමක් නිෂ්පාදනයට සම්බන්ධ නැති, බෝ කරන්නියන් පමණක් ලෙස සැලකිණි.
19 වන සියවස අග භාගයේ දී යටත් විජිතකරුවන් කැරිබියානු කලාපයේ පැරණි වහල් ජනයාට න්‍යෂ්ටික පවුල හා එ්ක පුරුෂ විවාහය හදුන්වා දීමට දැරූ මහත් වෙහෙස ඇත්තෙන්ම ඉතිහාසයේ සරදමක් විය. එහෙත් ගැහැනු මෙන්ම පිරිමිද මෙම ආදර්ශයන් අනුගමනය කිරීමෙහි වාසියක් නොදුටු අතර. විවාහය ප්‍රතික‍ෂ්ප කළ හ. යටත් විජිතකරුවන්ගේ දෙබිඩි ප්‍රතිපත්තිය ඔවුනටම පාරාවළල්ලක් විය.  වහලූන් නිදහසේ සූරා කෑම සඳහා සියවස් ගණනක් තිස්සේ ඔවුහු වහලූන් මානුෂිකත්වයෙන් හා ක්‍රිස්තියානියෙන් බැහැර කළ හ.  නීග්‍රෝවරුන් යූරෝපීයයන් අයත් වන ප්‍රභේදයට ම අයත් නොවන බව ප්‍රකාශ කළ ජනවර්ගවේදීහු මෙයට උදව් කළ හ. (Caldicott 1970:67) මේ අනුව, වහලූන්ට ක්‍රිස්තියානීන් වීමට බැරි විය. මක් නිසාද යත්, එංගලන්ත පල්ලිය අනුව, කිසිදු ක්‍රිස්තියානුවකු වහලකු වන්නට බැරි ය.

1780 දී පමණ නව වහල් නීති සංග්‍රහය වහලූන් අතර විවාහය දිරි ගන්වන්නට පටන් ගත්තේය. වහල්ලූ මෙම ඉහළ පෙළේ නීති සමච්චලයට ලක් කරමින් තම ‘පොදු නීති’ සංගම් අනුවම දිගටම කටයුතු කළ හ.  එ් අනුව ඕනෑම ගැහැනියකට අසීමිත කාලයක් මිනිහෙකු සමග සිටිය හැකි විය. පිරිමියාට ද එසේම විය. වහල් ගැහැනුන් විවාහ බන්ධනය දුටුවේ තමන් එක් මිනිහෙකුගේ පාලනයට යටත් කරන දෙයක් ලෙස ය. ඔහුට ඇයට පහර දීමට වුව බලය තිබිණි. පිරිමින්ට එක් බිරිඳකට වඩා උවමනා වූ අතර, එහෙයින් විවාහය ප්‍රතික්ෂේප කරන ලදී. පල්ලියේ ඉතිහාසඥයකු වන කැල්ඩිකෝට් අවසානයේදී, නීග්‍රෝවන් තුළ ශිෂ්ටත්වයේ වාසි කෙරෙහි ඇති මෙම ප්‍රතිවිරෝධයට හේතුව ලෙස සොයා ගත්තේ, ඔවුනට තම ලිංගික ආශාවන් පාලනය කර ගත නොහැකි බවයි. එහෙයින් ඔවුන් ස්ථාවරත්වය පිලිකෙව් කළහ. ‘එම තත්වය ගැහැනු, පිරිමි දෙපාර්ශවයට ම පොදු විය.  නීග්‍රෝ ජාතිය තුළ යුරෝපීය ජාතීන්ට වඩා ලිංගික සාමානත්වයට ඉඩක් තිබිණි……. (රෙඩොක් විසින් උපුටා දක්වන ලද කැල්ඩිකෝට්, 1984: 47) ‘ලිංගික සමානත්වය’ පසුගාමී ප්‍රාථමික ජාතීන්ගේ ලක‍ෂණයක් ලෙස සැලකුණ අතර, බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන්ගේ ශිෂ්ටකරණ දූත මෙහෙවරෙහි අංගයක් වූයේ යටත් විජිත ගැහැනුන්ගේ ස්වාධීනත්වය බිඳ දැමීම හා යටත් විජිත පිරිමින්ට ස්තී්‍රන් හෙලා දැකීමේ හා යුදවාදයේ අගය වටහා දීමයි. ත‍සැකාසබට Fielding Hall නැමැත්තකු විසින් ලියන ලද People at School නම් ග්‍රන්ථයෙහි මෙය පැහැදිලිව වර නගා තිබේ. හෝල් වනාහි 1887-91 සමයේ බුරුමයේ බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයේ දේශපාලන නිලධාරිවරයා ය. බුරුම ගැහැනුන්ගේ ස්වාධීනත්වය, ලිංගික සමානත්වය හා බුරුම ජනතාවගේ සාමකාමිත්වය විචිත්‍ර ලෙස විස්තර කරන හේ එය බුදුදහමෙහි බලපෑම මත වූවක් ලෙස දක්වයි.  එහෙත් එවන් ප්‍රිතිමත් සමාජයක් සුරක‍ෂා කරනු වෙනුවට පෝල් නිගමනය කරනුයේ බුරුමය බලහත්කාරයෙන් ප්‍රගතියේ මාවත වෙත ඇද ගත යුතු බවයි. ‘එහෙත් අද නීති අපගේ ය. බලය පාලනය වේ. අපගේ යටත් වාසීන් වෙනුවෙන් අප පාලනයේ නියැලෙන අතර අප එය කරන්නේ අපට ඕනෑ පරිදි ය.  මෙහි අපගේ සමස්ත පැවැත්ම ම ඔවුන්ගේ ආශාවන්ට එරෙහි ය.’ ඔහු බුරුම ජනයා ශිෂ්ට කිරීම උදෙසා පහත සඳහන් ක්‍රියාමාර්ග යෝජනා කරයි.

01. බ්‍රිතාන්‍ය යටත් විජිතවාදීන් වෙනුවෙන් මැරීම හා සටන් කිරීම පිරිමින්ට උගැන්විය යුතුය. අපගේ යුද්ධවලදී තමන්ගේ ලෙස හඳුන්වාගත හැකි රෙජිමේන්තුවක් ගොඩනගා දීම හැර බුරුම ජනයාට කළ හැකි වඩා හොඳ දෙයක් මට සිතිය නො හැක.  එය ජීවිතය පිළිබඳ නව දර්ශනයන් වෙත ඔවුන්ගේ ඇස් විවර කරනු ඇත. (A people at School, පිටුව 264)

02. ගැහැනුන්, මිනිසුන්ගේ අවශ්‍යතා උදෙසා තම ස්වාධීනත්වය පාවා දිය යුතුය.

ලිංගික සමානත්වය පසුගාමිත්වයේ ලක‍ෂණයක් ලෙස සලකා මෙම යටත් විජිත පාලකයා මෙසේ  අනතුරු අඟවයි. ‘මෙම පසුගාමිත්වය පසුබැස්සවීමට නම්, බුරුම ජනයා මැරීම, යුද්ධය හා ගැහැනුන් පීඩාවට පත් කිරීම උගත යුතුය.  පෝල්ගේ වචනයෙන්ම කිවහොත් ‘රෝගී ශරීරයට ශල්‍ය වෛද්‍යවරයාගේ සැතින් කරන දෙය රෝගී ජාතීන්ට සොල්දාදුවන්ගේ කඩුවෙන් කළ යුතුය.’
 
මිනිසා නම් දඩයක්කාරයා පිළිබඳව මෙම දෘෂ්ටිවාදය ආරක‍ෂා කිරීම සඳහා ඔහු ජනවර්ගවේදීන්ගේ සහය ද පතයි. ‘බුරුමයේ  තවමත් ප්‍රමාණවත් පරිදි ගැහැනිය හා මිනිසා අතර වෙනස සලකුණු කර නැත. එය තරුණ ජනවර්ගයකගේ ලක‍ෂණයකි. ජනවර්ගවේදීහු එ් බව අපිට පසක් කරති.  පැරණිතම ජනතාවන් අතර මෙම වෙනස ඉතා සුළු ය. ජන වර්ගයක් වර්ධනය වන විට මෙම වෙනස ප්‍රබල වෙයි.’

මීළගට පෝල් විස්තර කරන්නේ බුරුම ගැහැනිය අවසාන වශයෙන් ශිෂ්ට, යටහත් ගෘහනියකගේ තත්වයට පිරිහෙළන ආකාරයයි.  කලින් ගැහැනුන් අත තිබුණ දේශීය ගෘහ කර්මාන්ත එංගලන්තයෙන් ආනයනිත භාණ්ඩ විසින් විනාශ කරන ලදී. ගැහැනුන්ව වෙළඳාමෙන් ද ඉවත් කරන ලදී.  ‘රැංගුන්හි සුවිසල් ඉංග්‍රීසි වෙළදසල් විසින් ගැහැනුන් ස්වාධීනව ජීවනෝපාය සලසා ගත් කඩ වීදි යටපත් කරනු ලැබේ.’

ගැහැනුන්ගේ ආර්ථීක ස්වාධීනත්වය අහිමි කිරීමෙන් අනතුරුව පෝල් දකින්නේ විවාහය හා දේපල උරුමය පිළිබඳ නීති ද වෙනස් කළ යුතු බවයි.  එමගින් බුරුමය ද පිරිමින් විසින් පාලනය කරනු ලබන ‘ප්‍රගතිශීලි’ භූමියක් බට පත් කිරීමට අදහස් කෙරිණ. තම ස්වාධීනත්වය ප්‍රගතියේ මාවතට හරස් කපන්නක් බව ගැහැනුන් විසින් වටහා ගත යුතුව තිබුණි.
‘ඇයගේ ස්වාධීනත්වයේ බලය සමග ඇගේ නිදහස් කැමැත්ත හා බලපෑම ද අතුරුදහන් වේ. ඇය සිය ස්වාමියා මත යැපෙන විට, ඇයට තව දුරටත් ඔහුට අණ දීමට නොහැකි ය.  ඔහු ඇය පෝෂණය කරන කල්හි, ඇයට තව දුරටත් ඇගේ හඩ ඔහුගේ තරම් ශබ්ද නගා මතු කළ නොහැකි ය. ඇයගේ පසුබෑම නොවැළැක්විය හැකි ය.  ජයග්‍රාහී ජාතීහු වන්නේ ස්ත්‍රී ස්වරූපි ජාතින් නොව, පුරුෂ ස්වරූපි ජාතිහු ය.  එතරම් දුර නොයන්නේ නම් පමණක් ස්ත්‍රීන්ගේ බලපෑම හොඳ ය.  එහෙත් මෙහි සිදු වී ඇත්තේ එය නොවේ.  එය මිනිසාට සේම ගැහැනියට ද නරක ය.  උවමනාවට වඩා ස්වාධීන වීම ගැහැනියට කිසි කලක හොඳ වන්නේ නැත. එයින් ඔවුන්ගේ බොහෝ ගුණ ධර්ම අහිමි වේ. බිරිඳ සහ පවුල වෙනුවෙන් වැඩ කිරීම මගින් මිනිසා වර්ධනය කරනු ලැබේ. එයින් ඔහු මිනිසකු කරනු ලැබේ.  ගැහැනියකට ස්වාධීනව පැවැත්මට හැකි වීම හා ඇවැසි නම් සිය සැමියා ද රැක ගැනීමට හැකි වීම චිත්ත ධෛර්යය සිඳලන සුළු ය. (A People at School, පිටුව 266)

කැරිබියානු කලාපයට ගෙන එන ලද ගැහැනුන් වහලූන් බවට පත් කරනු ලැබුවේ ඔවුන් පසුගාමී හෝ අඩුවෙන් ‘ශිෂ්ඨ’ හෝ නිසා නොවේ. එ් වෙනුවට වහල් සමය විසින් ඔවුන් මිලේච්ඡයන් බවට පත් කරන ලද වග දැන් බටහිර අප්‍රිකාවේ ගැහැනුන් පිළිබඳව පර්යේෂණ වලින් පෙනී ගොස් තිබේ. නිදසුනක් ලෙස 18 වන සියවසේ සෙනෙගාලයේ වෙළෙන්දියන් පිළිබදව ජෝර්ජ් බෘෘක් විසින් ලියන ලද කෘතියෙන් පෙන්වා දෙන පරිදි විශේෂයෙන්ම වොලොෆ් ගෝත්‍රයේ මෙබඳු ගැහැනු පූර්ව යටත් විජිත බටහිර අප්‍රිකානු සමාජයේ ඉහළ ස්ථානයක් හෙබවු හ. වෙලඳ භාණ්ඩ සොයාගෙන සෙනෙගාලයට සපැමිණි මුල් කාලීන පෘතුගීසි හා ෆන්සශ වෙළෙන්දෝ මෙම බලවත් ගැහැනුන්ගේ සහයෝගය හා කීිර්තිය මත සපුරා ම යැපුණ හ.  ඔවුහු මෙම යුරෝපීය මිනිසුන් සමග ලිංගික හා වෙළෙඳ සන්ධානවලට එළඹුණ හ.  තම කලාපයේ පහත් ප්‍රදේශ සමග වෙළඳාමෙන් ඔවුහු සෑහෙන ධනයක් උපයාගෙන තිබුණ හ. එපමණක් නොව, ඔවුන්ගේ ජීවන විලාසයෙන් කෙතරම් සංස්කෘතික වී තිබිණ ද යත්, සුන්දරත්වය හා රූපය ගැන කෙතරම් සංවේදී වී ද යත්, ඔවුන් මුලින්ම මුණ ගැසුණ යුරෝපා දේශ ගවේශකයෝ විමතියෙන් මුව ගොළු වූ හ. බ්‍රිතාන්‍ය නෞකාවක දේව ගැතිවරයෙකුවූ ජෝන් ලින්ඩ්සේ පිනමගේ සටහනක් බෘෘක්ස් උපුටා දක්වයි.

‘ඔවුන්ගේ ගැහැනු, විශේෂයෙන්ම නෝනාවරු (සෙනාලයේ බොහෝ දෙනෙක් මෙබඳු වුහ.) පුදුම සිතෙන අන්දමින් සුන්දර වූ හ. ඔවුනට සියුම් අංග ලක‍ෂණ තිබිණි. පුදුම සිතෙන අන්දමට ඔවුහු නම්‍යශීලී ය. ගතිගුණ ද කතාබහින්ද ඉතා විනීත ය. තමන්ව පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම අතින් ඔවුහු හැම අතින් ම යුරෝපීයයන් අභිභවති.  (වහලූන්ගේ වනචාරී කම්මැලිකම නිසා මේ පිළිබඳ අප තුළ ගොඩ නැගී තිබන්නේ වෙනත් අදහසකි.) ඔවුහු දිනකට දෙවරක් නාති.’ (Brooks, 1976:24)

වෙළෙන්දන් සහ සොල්දාදුවන් ලෙස මුලින්ම බටහිර අප්‍රිකාවට පැමිණි පෘතුගීසි හා ෆ්‍රන්ස  යුරෝපීය මිනිස්සු සාමාන්‍යයෙන් ආවේ බිරින්දන් සහ පවුල් නොමැතිව තනිවම ය.  ‘නෝනාවරුන්’ හා ‘වෙළෙන්දියන්’ සමග ඔවුන්ගේ සන්ධාන ඔවුනට කෙතරම් ආකර්ශනීය වී ද යත්, ඔවුහු වොලොෆ් ගෝත්‍රික ශෛලියට අනුව මෙම ගැහැනුන් විවාහ කර ගත් හ.  බොහෝ විට අප්‍රිකානු ජීවන විලාසයට අවනත වූ හ. යුරෝ අප්‍රිකානුවන් වු ඔවුන්ගේ දරුවෝ බොහෝ විට යටත් විජිත සමාජයේ උසස් තැන් හෙබවූ හ. බටහිර අප්‍රිකානු ගැහැනුන් සමග ලිංගික හා විවාහ සබඳතා පිළිබඳ ජාතිවාදී පූර්ව විනිශ්චයන්ගේ දැඩි බලපෑමකට ලක් ව නො සිටි මෙම යුගයේ යටත් විජිතකරුවෝ මෙම සන්ධාන ලාභදායී පමණක් නොව මානුෂිකව තෘප්තිකර එවා ලෙස ද සැලකූ හ.


බටහිර අප්‍රිකාවේ බ්‍රිතාන්‍ය ආධිපත්‍යයත් සමග ම අපිකානු ගැහැනුන් පිළිබඳ මෙම සරළ කතෝලික ආකල්පය වෙනස් විය. තව දුරටත් අප්‍රිකානු ගැහැනුන් සමග සබඳතාවනට නො ගිය බ්‍රිතාන්‍ය සොල්දාදුවෝ හා වෙළෙන්දෝ අප්‍රිකානු ගැහැනුන් ගනිකාවන් බවට පත් කළ හ. ජාතිවාදය නිසි ලෙස පිංතූරයට කාවදින ඓතිහාසික මොහොත මෙයයි. තත්වයෙන් පිරිහෙළන ලද අප්‍රිකානු ගැහැනිය ඉංග්‍රීසි යටත් විජිතවාදීන්ගේ ගනිකාවක් බවට පත් කරන ලදී. සුදු පිරිමියාගේ වාර්ගික අධිපතිවාදය හා අප්‍රිකානු ගැහැනියගේ ‘වනචාරිත්වය’ පිළිබඳ න්‍යාය ගොඩනැගුණේ මෙම සමයේදී ය. බ්‍රිතාන්‍ය යටත් විජිත ඉතිහාසය මෙම කාරණාවලදී ලන්දේසි ඉතිහාසය තරම්ම විචක‍ෂණශීලි විය. එහෙත් බෘෘක්ස් පවසන්නේ සෙනෙගාලයට අදාළ වූ තත්වය ගැම්බියාවේ මුල් බැසගෙන නොතිබුණ බවකි.

‘බ්‍රිතාන්‍යයෙන් ඇදී ආ මහ පිරිස් අතුරින් වෙළෙන්දන් හෝ රාජ්‍ය නිලධාරීන් හෝ යුද නිලධාරීන් හෝ වූ බොහෝ අය යුරෝ අප්‍රිකානු සහ අපි්‍රකානු ගැහැනුන් සමග එළිපිට ජීවත් වීමේ ‘නිසි’ බ්‍රිතාන්‍ය හැසිරීමෙන් විතැන් වූ හ. ඔවුන් රහසිගතව කළ දේ මෙහිදි අදාළ නොවේ. බ්‍රිතාන්‍ය පාලකයින් එවැනි කාරණා පිළිබද විචක‍ෂණශීලි වු නමුදු වෙළෙන්දන්ගේ සහ ‘නෝනාවරුන්ගේ’ පවුල් සංස්ථා වෙනුවට බටහිර අප්‍රිකාවේ හැමතැනම දක්නට ලැඛෙන ආකාරයේ මුල් රහිත අවිවාහක ප්‍රජාවක් වර්ධනය වන ආකාරය වටහා ගත හැකි ය. විවෘත හා පසුතැවිල්ලකින් තොර ජාතිවාදය මෙම ප්‍රජාවේ එක් ලක‍ෂණයකි. තවත් දෙයක් වන්නේ නොසැලකිලිමත් සූදුව හා බේබදුකමයි.’ (Brooks, 1976:43)

මෙම විස්තරයෙන් වෝල්ටර් රොඩ්නිගේ ‘යුරෝපය විසින් අපි්‍රකාව ඌන සංවර්ධිත කරන ලදී’ යන ප්‍රවාදය සනාථ වේ. එපමණක් නොව, අපගේ ප්‍රධාන තර්කය වන යටත් විජිතකරණ කි්‍රයාවලිය ඉදිරියට යද්දී යටත් විජිත ජනතාව කලින් ඔවුන් හෙබවූ බලවත් ඉහල ස්ථානයකින් හා ස්වාධීනත්වයකින් එකී ‘වනචාරී’ හා පහත හෙළන ලද ‘ස්වභාවයට’ පිරිහෙළන ලද බවද සනාථ වේ. 
 
වහලූන් ලෙස කැබිරියානු කලාපයට ගෙන ආ ගැහැනුන් ‘ආපසු’ සොබාදහමට අර්ථකතනය කිරීම හෙවත් ‘ස්වභාවිකකරණය’ ඇතැම් විට යුරෝපයේ යටත් විජිතකරණයේ දෙබිඩි කුහක ස්වභාවයට පැහැදිලි ම සාක්කි වේ. අප්‍රිකානු ගැහැනුන්ට ‘ම්ලේච්ඡයන්’ ලෙස සලකන අතරතුර සුදු යටත්විජිතකරුවන්ගේ පීතෘ භූමිවල ගැහැනුන් ‘නෝනාවරුන්ගේ’ තත්වයට උසස් වූහ.  මෙම ක්‍රියාවලි දෙක එකිනෙකට සමාන්තරව සිදු වූයේ නැත. එවා පීතෘමූලික ධනේශ්වර නිෂ්පාදන මාදිලියේ අභ්‍යන්තරයෙන්ම එකට බැඳී ඇත. මේ අන්දමින් ‘ම්ලේච්ඡ’ හා ‘ශිෂ්ට’ ගැහැනුන් නිර්මාණය කිරීම හා දෙකොටස අතර ධ්‍රැවීකරණය එදත් අදත් ධනේෂ්වර යටත් විජිතවාදය විසින් යටපත් කරන ලද ලොව අනෙකුත් කොටස්වලද සංවිධානමය ව්‍යුහාත්මක මූලර්මයක් විය. ගැහැනිය කෙරෙහි යටත් විජිත ක්‍රියාකාරිත්වයේ ප්‍රතිඵල ගැන එතරම් ෙඓතිහාසික පර්යේෂණ සිදු වී නැත.  එහෙත් අප සතු සුළු සාක්ෂ්‍ය ප්‍රමාණය විසින් මෙම නිරික‍ෂණය සනාථ කරනු ලැබේ.  එමගින් යටත්විජිතකරණ ක්‍රියාවලියේ ඉහළ පහළ යාම තුළ ගැහැනිය කෙරෙහි යටත් විජිත ප්‍රතිපත්තිය වෙනස් වූ අයුරු ද පැහැදිලි වේ.  එය රෝඩා රෙඩොක් විසින් නිරීක‍ෂණය කරන ලදී.
 
මේ අනුව Annie Stoler (1982) විසින් සොයාගෙන ඇති පරිදි 20වන සියවස මුලදී ලන්දේසීහූ ලොව අනෙක් කෙළවරේ සුමාත්‍රාවේදී ගැහැනියට අදාළව මේ හා සමාන දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කළහ.
‘වැවිලි ව්‍යාප්තියේ එක් සංධිස්ථානයකදී, නිදසුනක් ලෙස අවිවාහක පිරිමි කම්කරුවන්ගේ හා කළමණාකාරිත්වයේ අවශ්‍යතා සපිරීම ඇතුලූ ගෘහ කටයුතු සඳහා ජාවා රටින් කුලී කම්කරුවන් ලෙස බඳවා ගන්නා ලද ගැහැනුන් විශාල වශයෙන් සුමාත්‍රාවට ගෙන එන ලදී.  ගනිකා වෘත්තියට අවසර මෙන්ම අනුබල ද දෙන ලදී.’ ( Stoler 1982:90)

කැබිරියානු කලාපයේ දී ෆ්‍රන්ස හා ඉංගී්‍රසි යටත්විජිතකරුවන්ගේ සේම, මෙම වැවිලිකරුවන්ගේද අරමුණ වූයේ ලාභ උත්පාදනයයි. ඇනී ස්ටෝලර් සඳහන් කරන පරිදි, ගැහැනිය කෙරෙහි ලන්දේසි යටත් විජිත ප්‍රතිපත්තියේ ඉහළ පහළ යාම මෙමගින් පැහැදිලි කෙරේ.  යටත් විජිත වාර්තාවල විවාහ ගිවිසුම්, අසනීප, ගනිකා වෘත්තිය හා කම්කරු ආරවුල් පිළිබඳ සඳහන් වන්නේ ලාභයට අදාළවයි.  සියවසේ මුල් දශක දෙක තුළදී විවාහක කම්කරුවන් මිල අධික ලෙස සලකන ලද හෙයින් විවාහක ගිවිසුම් ලබාගැනීමට දුෂ්කර විය. ( Stoler 1982:97)

පැහැදිලිව ම ගැහැනුන් ගනිකාවන් බවට පත් කිරීම මිළ අඩු විය.  එහෙත් උතුරු සුමාත්‍රාවේ ගැහැනු කම්කරුවන්ගෙන් හරි අඩක් පමණ සමාජ රෝගවලින් පෙළෙන්නට පටන් ගත් විට, වතු කම්කරුවන් අතර විවාහය දිරිගැන්වීම වඩා ලාභදායී විය. මෙය සිදු වූයේ 1920, 1930 දශකවලදී ය. මුල් අවධියේදී සංක්‍රමණික ගැහැනුන් වතුවල බර වැඩට පමණක් යෝග්‍ය වූ අතර, දැන් ගෘහනීකරණ ක්‍රියාවලියක් තුළ පදිංචිකාර ගැහැනුන් වතුවල වැටුප් ශ්‍රමයෙන් බැහැර කිරීමේ ක්‍රියාවලියක් දියත් වේ.  Stoler ලියන පරිදි;

‘වතු වගා ඉතිහාසයේ එකිනෙකට වෙනස් ආර්ථීක ද දේශපාලනික සංධිස්ථානවලදී වැවිලිකරුවන් විවාද කළේ;

1.    දරුවන් වැදීම හා ඔසප් වීම වෙනුවෙන් ගතකළ කාලය හේතුවෙන් ගැහැනු කම්කරුවන් නඩත්තු කිරීම වියදම් අධික විය:
 
2.    ගැහැනු බර වැඩ කිරීම යෝග්‍ය නැත. ඔවුනට එ්වා නොහැක:

3.    ගැහැනුන් වඩා යෝග්‍ය අත්වැඩවලටය: යන කරුණු තුනය. ( Stoler, 1982:98)
 
‘දුර්වල ගැහැනිය’ පිළිබඳ මෙම රූපය හදුන්වා දීම පැහැදිලි දෘෂ්ටිවාදීමය ප්‍රවණතාවක් වු අතර, එය ගැහැනුන්ගේ වැටුප් පහත හෙලීමේ හා අත්වැඩකාරී ස්තී්‍ර ශ්‍රමයක් නිර්මානය කිරීමේ ආර්ථීක අරමුණට සේවය කළ බවට සංඛ්‍යා දත්ත දෙස් දෙයි. එ් අනුව 1903 කුලීකරුවන්ගේ අයවැය වාර්තාවේ සඳහන් වන පරිදි, ගර්භනීභාවය හේතුවෙන් අහිමි වන්නේ පවත්නා ශ්‍රමයෙන් 1% ක් පමණි. (Stoler,1982:98)

ඇගේ අධ්‍යයනයේ පසු කොටස්වලදී රෝඩා රෙඩොක් පවා මෙම ක්‍රියාවලිය පිළිබඳ පෘථුල සාක්කි සපයයි. එනම්, ගැහැනුන් වැටුප් ශ්‍රමයෙන් බැහැර කර, ඔවුන් ‘යැපෙන්නන්’ ලෙස අර්ථකතනය කිරීමයි. මෙය මේ  කාලයේදීම ට්‍රිනිඩෑඩ් නම් බ්‍රිතාන්‍ය යටත් විජිතයෙහි ද සිදු විය. (රෝඩා රෙඩොක්, 1984)
 
ලන්දේසි යටත් විජිතකරුවන්ට ද ලාභ උත්පාදනය පරම අරමුණ විය. තමන්ගේ රටවල ‘ශිෂ්ට’ ගැහැනුන් හා සුමාත්‍රාවේ ‘ම්ලේච්ඡ’ ගැහැනුන්  කෙරෙහි පවත්වන ලද ප්‍රතිවිරුද්ධ වටිනාකම් සහ ප්‍රතිපත්ති විසින් මෙය වඩාත් හොදින් තහවුරු කෙරේ. මේ අයුරින් ගැහැනු කණ්ඩායම් දෙකකට එකිනෙකට හාත්පසින් වෙනස් වටිනාකම් මත සැලකීම ඔවුන්ගේ හෘදය සාක‍ෂියට ගැටළුවක් වූ බව නො පෙනේ. ගැහැනුන් ගනිකාවන් ලෙස බඳවා ගැනීම තවදුරටත් ලාභදායී නොවු කල්හි පමණක් ගනිකා වෘත්තිය පොදු ප්‍රශ්නයක් බවට පත් විය. මෙහිදී ද අපට අවධාරණය කිරීමට ඇත්තේ තම රටේදී පවුලට හා ගෘහයට අවධානය යොමු කරමින් ලන්දේසි ගෘහනිය මතු කිරීම හුදු කාලීන සමපාත වීමක් නොව ලන්දේසි යටත් විජිතවල වතු කම්කරුවන් අතර පවුල් හා ගෘහ විනාශ කිරීම සමග සම්බන්ධ ක්‍රියාවක් බවයි.
 
පරිවර්තනය
අජිත් පැරකුම් ජයසිංහ

යටත්විජිතකරණය හා ගෘහනීකරණය ( 03 )

ජර්මනියේ ව්‍යවහාරික විද්‍යාවන් පිළිබඳ කලෝන් විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක වන මාරියා මීස් 1960 ගණන් වල අගභාගයේ සිට ස්ත‍්‍රි ව්‍යාපාර ක‍්‍රියාකාරීනියක් ලෙසිනුත්, ස්ත‍්‍රි අධ්‍යනයන්හීත් කටයුතු කර ඇත. 1979 දී ඇය නෙදර්ලන්තයේ හේග් නුවර සමාජ විද්‍යාඥයින්ගේ ආයතනයේ කාන්තා සහා සංවර්ධන වැඩපිළිවල පිහිටෙව්වාය. ස්ත‍්‍රිවා දී පාරිසරික විද්‍යාත්මක සහ තුන් වන ලෝකය සම්බන්ධ ගැටඵ පිළිබඳ ලේඛණ සහ පොත් ගණනාවක් ඇය විසින් ප‍්‍රකාශයට පත් කර ඇත. 1993 දී ඉගැන්විමෙන් විශ‍්‍රාම ගිය ඇය කාන්තා හා වෙනත් සමාජ ක‍්‍රියාකාරීත්වයන් තුළ දිගටම කටයුතු කරගෙන යයි. ඇය විසින් රචිත කෘති අතර, Indian Women and Patriarchy, Patriarchy and Accumulation On a World Scale In Women : The Last Colony ප‍්‍රධාන වේ. ‘‘යටත්විජිතකරණය හා ගෘහනීකරණය’’ ලෙසින් පරිවර්තිත මේ ලිපිය ඇයගේ Patriarchy and Accumulation on a World Scale කෘතියෙන් උපුටා ගන්නා ලද්දකි.
  • මෙම ලිපිය අප විසින් ප‍්‍රකාශයට පත් කෙරුනු ඉතිහාස සඟරාවේහි ඵල කරන ලද්දකි. මේ හරහා යටත් විජිතකරණය සම්බන්ධයෙන් මාරියා මීස් හෙලන තියුනු ස්ත‍්‍රීවාදී බැල්ම පුලූල් අවකාශයක් තුළ සාකච්ඡා වීම වැදගත් යැයි අප සිතමු. මේ නිසා මෙම ලිපිය අපගේ බ්ලොග් අඩවියෙහි කොටස් වශයෙන් නැවත පලකරමු.
යටත්විජිතකරණය හා ගෘහනීකරණය (III – කොටස)

ස්තී‍්‍ර සිරුර යටපත් කිරිම හා බිඳ දැමීම: හිංසනය


පහත දැක්වෙන්නේ Berzlesdorf ys Katherine Lips 1672 දී වධ බන්ධනයට පාත‍්‍ර කළ ආකාරය පිළිබඳ වාර්තාවයි.
‘අනතුරුව ඇය හමුවේ තීන්දුව නැවත කියවන ලද අතර, ඇයට ඇත්ත කීමට අවස්ථාව දෙන ලදී. එහෙත් ඇය දිගින් දිගටම ප‍්‍රතික්ෂේප කළාය. අනතුරුව ඇය කැමැත්තෙන්ම ඇදුම් ඉවත් කළාය. එල්ලූම්කරු ඇගේ අත් බැඳ ඉහලට එසවූයේය.  නැවත පහල හෙළුවේය.  ඇය හඬා වැළපුණාය. ඇය නැවත ඉහලට ඔසවන ලදී.  ඇය නැවතත් ‘උඩ ඉන්නා දෙවියනි මට පිහිට වෙන්නැයි‘ විලාප දුන්නාය.  ඇගේ පා ඇඟිලි බඳින ලදී…. පා ස්පාඤ්ඤ සපත්තුවලට බහා පළමුව වම ද දෙවනුව දකුණ ද ඉස්කුරුප්පු කරන ලදී….. ‘ජේසු ස්වාමිනි, පැමිණ මට පිහිට වන්නැ‘යි ඇය හ`ඩා වැළපුණාය. මැරුවත් කිසිවක් නොදන්නා බව ඇය කීවාය.  ඔවුහු ඇය ඉහළට ම එසවූහ.  ඇය නිශ්ශබ්ද වූවා ය. අනතුරුව ඇය මායාකාරියක නොවන බව කීවාය.  එවර ඔවුහු නැවතත් ඇගේ පා වලට ඉස්කුරුප්පු ලූහ.  ඇය නැවතත් විළාප දී හැඬුවාය…. නිහඬ වූවාය…. දිගින් දිගටම කිසිවක් නොදන්න බව ම කීවාය….ඇගේ මවට මිනි වලෙන් නැගිට පැමිණ උදව් කරන්නැයි කෑ ගා කීවාය. 
 
ඔවුහු ඇය කුටියෙන් පිටතට ගෙන ගොස් සලකුණ සෙවීම පිණස හිස මුඩු කළහ.  නිපුණ ශිල්පියා පැමිණ එය සොයා ගත් බව දැන්වීය. ඔහු එය තුලට ඉදිකටුවක් ඇතුල් කර තිබුණ අතර, ඇයට එය නොදැනිණ. රුධිරය ද පිට වූයේ නැත.  නැවතත් ඔවුහු ඇගේ අත් හා පා බැඳ ඉහළට ඇද්දහ. ඇය නැවතත් කෑ ගසා කීවේ ඇය කිසිවක් නොදන්නා බවයි.  ඇය බිමට ගෙන මරා දමන්නැයි ආදී වශයෙන් ඇය කෑ ගෑවාය.‘ (Baker හා වෙනත් අය විසින් උපුටා දක්වන ලදී, 1977: 426 ff)
 
1631 දී Friedrich von Spee හිංසනය හා මායාකාරියන් දඩයමට එරෙහිව නිර්නාමික රචනයක් ලිවීමට එඩිතර විය.  හිංසනයේ පරපීඩා කාමුක ලක්‍ෂණ හෙලිදරව් කරන හේ පාලකයන්, පල්ලිය, සහ ආගමික ආයතන මායාකාරී හිස්ටිරියාව තුළ සියලූ ප‍්‍රශ්නවලට, කැළඹිලිවලට හා දුගී ජනයා අතර අසහනයට ව්‍යාජ හේතුවක් මවා පා තමන් වෙතින් ජනතා විරෝධය මෙම දුප්පත් ගැහැනුන් වෙත යොමු කරන ලද බව පවසයි.

1724 ඔක්තෝබර් 31: Coesfeld හි Enneke Fristenares හිංසනයට පාත‍්‍ර කිරීම.


‘චූදිතට පාපොච්චාරණය කරන ලෙස කළ ඉල්ලීම ඵලක් නොවුයෙන්, ආචාර්ය Gogravius වධයට භාජනය කිරීමේ නිවේදනය කියවූයේය. ෙවිදනාකාරී ප‍්‍රශ්න කිරීම විසින් කෙසේ හෝ ඇය පාපොච්චාරණය කරවන හෙයින් සහ දඬුවම දෙගුණ වන හෙයින් ඇත්ත කියන්නැයි ඔහු ඇයට කීවේය. අනතුරුව පළමු අදියරේ හිංසනය පමුණුවන ලදී.
අනතුරුව, විනිසුරුවරයා දෙවන අදියරේ හිංසනයට ඇය යොමු කළේය. වධ කුටියට ගෙන යන ලද ඇය නිරුවත් කරනු ලැබුවාය.  අත්පා බැඳ ප‍්‍රශ්න කරන ලදී.  ඇය නිර්දෝෂී බව ප‍්‍රකාශ කළාය….. ඇය මුරණ්ඩු ලෙස සිටියදී ඔවුහු තුන්වන අදියරට යොමු වූහ.  ඇගේ මහපටැ`ගිලි ඉස්කුරුප්පුවට දමන ලදී. ඇය බියජනක ලෙස කෑ ගෑ හෙයින් මුවට කැටයත් ඔබා ඉස්කුරුප්පු කිරීම කරගෙන යන ලදී. මෙය විනාඩි 50ක් කරන ලදී. ඉස්කුරුප්පු බුරුල් හා තද කරන ලදී. එහෙත් ඇය නිර්දෝෂී බව පැවසුවාය.  නොවැළපුන ඇය කළේ කෑ ගැසීම ය. ‘මම වරදකරු නෙමෙයි, ජේසුනි, පැමිණ මට උදව් කරන්න‘ ‘දෙවියනි මා රැගෙන මරා දමන්න.‘ අනතුරුව ඔවහු සිව්වන අදියරට එළඹුණහ. එ් වනාහි ස්පඤ්ඤ සපත්තුය.  ඇය නොවැළපුන බැවින් ආචාර්ය Gogravius චූදිතයා මායාබලයෙන් වේදනාවට අසංවේදීත්වයක් ඇති කරගෙනදැයි සැලකිලිමත් විය.  එබැවින් ඔහු නැවතත් ඇය නිරුවත් කර සැක සහිත දෙයක් ඇගේ සිරුරේ ඇත්දැයි පිරික්සන ලෙස වධකයාට කීවේය. සියල්ල සුපරීක්ෂාවෙන් පරීක්‍ෂා කර බැලූ බව ද කිසිවක් හමු නොවු බව ද වධකයා වාර්තා කළේය.  නැවතත් ස්පාඤ්ඤ සපත්තු දැමීමට අණ කරන ලදී.  චූදිත දිගටම තම නිර්දෝෂීභාවය ප‍්‍රකාශ කරමින් ‘අනේ ජේසුනි, මම එය කළේ නැහැ,  දෙවියනි මා මරා දමන්න, මම නිර්දෝෂියි. මම නිර්දෝෂයි,‘ යි කෑගැසුවාය. 

මෙම වධය විනාඩි 30ක් තිස්සේ කි‍්‍රයාත්මක විය. 

අනතුරුව ආචාර්ය Gogravius පස්වන අදියරට අණ කලේය.  චූදිත එල්ලා පොලූ දෙකකින් පහර 30ක් දක්වා එල්ල කරන ලදී. දැඩි ලෙස වෙහෙසට පත් ඇය පාපොච්චාරණය කරන්නෙමියි කීවා ය.  එහෙත්, නිශ්චිත චෝදනාවලට අදාළව ඇය දිගින් දිගටම කියා සිටියේ කිසිදු අපරාධයක් නොකළ බවයි.  බාහු සන්ධිවලින් ඇඹරී යන තෙක් ඇය ඉහළට අදින්නට වධකයාට සිදු විය.  මෙම වධය විනාඩි 6 ක් පැවතිණ.  ඇයට නැවත නැවත පහර දෙන ලද අතර මහපටැඟිලි ඉස්කුරුප්පු කරන ලදී. පා ස්පාඤ්ඤ සපත්තුවල දමන ලදී.  එහෙත් යක්ෂයා සමග සම්බන්ධයක් නැතැයි චූදිත දිගටම කියා සිටියේය. 

ආචාර්ය Gogravius වධයට පැමිණවීම නිසි ලෙස කරන ලද බවට සෑහීමට පත් වූ පසු හා චූදිත තව දුරටත් හිංසනය දරා ගැනීමට අසමත් බව වධකයා ප‍්‍රකාශ කළ පසු ආචාර්ය Gogravius චූදිත පහළට ගෙන ලිහන්නයි අණ කළේය.  ඇගේ ගාත් නිසි පරිදි පිහිටුවා සාත්තු කරන්නැයි අණ කළේය.‘  (Baker සහ තවත් අය විසින් උපුටා දක්වන ලදී. 1977:433-435)

මායාකාරියන් පිළිස්සීම, ප‍්‍රාග්ධනයේ ප‍්‍රාථමික සමුච්චකරණය සහ නවීන විද්‍යාවේ නැගීම


වින්නඹු මාතාවන් මායාකාරියන් ලෙස පිළිස්සීම නවීන විද්‍යාවේ මතු වීමත් සමග සෘජුවම සම්බන්ධ ය. මෙහි නවීන විද්‍යාවේ මතුවීම යනු වෛද්‍ය විද්‍යාවේ වෘත්තීයකරණය වීම, වෛද්‍ය විද්‍යාව ස්වභාව විද්‍යාවක් ලෙස මතුවීම සහ විද්‍යාවේ හා නවීන ආර්ථිකයේ නැගී එ්මයි. මායාකාරියන් දඩයම් කළවුන්ගේ වධක කුටි මානව සිරුරේ – විශේෂයෙන්ම ස්තී‍්‍ර ශරිරයේ – ව්‍යුහය, ව්‍යච්ෙඡ්දනය හා දරාගැනීමේ හැකියාව, අධ්‍යයනය කල විද්‍යාගාර විය.  වෛද්‍ය විද්‍යාව හා එම අතිශය වැදගත් ක්ෂේත‍්‍රය මත පුරුෂාධිපත්‍යය පිහිටවනු ලැබුවේ පොඩි පට්ටම් කරන ලද, අතපය ගලවා, අවසානයේදී පුළුස්සා දමන ලද ස්තී‍්‍ර සිරුරු මත ය.
 
මායාකාරියන්ට එරෙහිව භීෂණය හා ඝාතනය සංවිධානය කෙරුණේ පල්ලිය හා රාජ්‍යය අතර ගණනය කරන ලද ශ‍්‍රම විභජනයකට අනුව ය.  පල්ලියේ නියෝජිතයන් විසින් මායාකාරියන් හඳුනාගෙන දේවධර්මීය සාධාරණීකරණයක් කර, ප‍්‍රශ්න කිරීම මෙහෙයවන ලද අතර, රාජ්‍යයේ අනාගමික හස්තය වධබන්ධන පැමිණවීමට හා අවසානයේදී දර සෑ මත මායාකාරියන් ඝාතනය කිරීම සඳහා උපයෝගී කර ගැනුණි.
මායාකාරියන් සංහාරය සාමාන්‍යයෙන් විශ්වාස කරන ආකාරයේ අතාර්කික ‘අඳුරු‘මධ්‍යතන යුගයේ නශ්ඨාවශේෂයක් නොව, නැගී එන නවීන විද්‍යාවේ ප‍්‍රකාශ වීමක් විය.  නව වෙළෙඳ ආර්ථික දර්ශනයේ ප‍්‍රංශ න්‍යායාචාර්යවරයා වන Jean Bodin මෙය ඉතාම පැහැදිලිව පෙන්වා දුන් පුද්ගලයා විය. Jean Bodin යනු මුදලේ ප‍්‍රමාණාත්මක න්‍යායයේත්, ස්වෛරීත්වයේ නූතන සංකල්පයේත්, මූල්‍ය ධනවාදී ජනප‍්‍රියවාදයේත් මූලාරම්භකයා විය. නූතන සහේතුකවාදයේ දැඩි ආරක්‍ෂකයකු වූ හේ එ් අතරවාරයේම රාජ්‍යය විසින් දියත් කරන ලද වධ හිංසා සහ මායාකාරියන් සංහාරය දැඩි ලෙස වාචිකව යෝජනා කල අයෙකු ද විය. ඔහුගේ දැක්ම පරිදි, මධ්‍යතන කෘෂිකාර්මික අර්බුදයෙන් පසු, නව ධනයේ සංවර්ධනය පිණිස, නූතන රාජ්‍යය සහමුලින්ම ස්වෛරී විය යුතු ය.  රාජ්‍යයට තව දුරටත් පැවරුණ කාර්යයක් වන්නේ නව ආර්ථිකය සඳහා ප‍්‍රමාණවත් කම්කරුවන් සැපයීමයි. එ් වෙනුවෙන්, සියල්ලටම වඩා මායාකාරියන්ට හා වින්නඹු මාතාවන්ට එදිරිව කි‍්‍රයාත්මක වන පොලීසියක්  හේ ඉල්ලා සිටියේය.  ඔහුට අනුව, ඔවුහු බොහොමයක් ගබ්සාවලට, යුවලවල නිසරුභාවයට හා ගැබ් ගැනීමෙන් තොර ලිංගික එක්වීම්වලට වගකිව යුතු වූහ.  ගැබ් ගැනීම හා දරු උපත් වැළැක්වූ හැම කෙනෙක්ම රාජ්‍යය විසින් මරණ දඩුවමට ලක් කළ යුතු බව හේ කීවේය. මායාකාරියන් ඝාතනයේ දී Bodin ප‍්‍රංශ රජයට උපදේශවරයෙකු ලෙස කටයුතු  කළ අතර, මායාකාරියන් මුලිනුපුටා දැමීම පිණිම බධ බන්ධන හා දර සෑ සඳහා උපදෙස් සැපයුවේය.  එම කාලයේ මායාකාරියන්ට එරෙහිව ලියවුන පති‍්‍රකා අතරින් වඩාත්ම පරපීඩා කාමුක ලේඛන අතරට ඔහු මායාශිල්පය ගැන ලියූ පති‍්‍රකාව ගැනේ.  ජර්මනියේ Institoris  සහ Sprenger මෙන් ඔහු ද ගැහැනුකම තම ප‍්‍රහාරයට ඉලක්ක කළේය. මායාකාරියන් සංහාරය වෙනුවෙන් ඔහු ගැහැනු 50ට පිරිමි එකයි යන අනුපාතය සැකසීය. (Merchant, 1983:13) නූතන සාපේක්ෂතාවාදයේත්, නව රාජ්‍යය පතුරුවා හැරීමේත්, මායාකාරියන් වෙත සෘජු ප‍්‍රචණ්ඩ ප‍්‍රහාර එල්ල කිරිමේත් සුසංයෝගය අපි යුරෝපා ශිෂ්ඨාචාරයේ නව යුගයේ තවත් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකු තුල දකිමු.  ඔහු නමින් Francis Bacon ය. (Merchant, 1983,164-177)

මේ හා සමානව, මායාකාරියන් සංහාරය හා නීතිය වෘත්තීයකරණය වීමේ ආරම්භය අතර ද සම්බන්ධයක් තිබේ. එම යුගයට පෙර ජර්මානු නීතිය අනුගමනය කළේ පැරණි ජර්මනික් චාරිත‍්‍රයි.  එය ජනතාවගේ නීතියක් හෝ චාරිත‍්‍රමය නීතියක් වූවා මිස ඉගෙන ගත යුතු විෂය පථයක් වූයේ නැත.  එහෙත් දැන් රෝමානු  නීතිය හඳුන්වා දෙනු ලබන අතර, බොහෝ විශ්වවිද්‍යාල නීති පීඨ ආරම්භ කළහ.  Frankfert විශ්වවිද්‍යාලය වැනි කීපයක තිබුණේ නීති පීඨය පමණි. එවකට ඇතැම් අය විශ්වවිද්‍යාල පිළිබඳ මැසිවිලි නැගූහ.

‘එ්වා කිසිදු කමකට නැත.  පුහුණු කරනු ලබන්නේ මිනිසුන් වියවුලට පත් කිරීමට, හොඳ දේ නරක කිරීමට, නරක දේ හොඳ කිරීමට ඉගෙන ගන්නා පරපෝෂිතයන් පමණි.  ඔවුහු දුප්පතුන්ට හිමි දේ වළක්වන අතර, ධනවතුන්ට හිමි නැති දේ ලබා දෙති.‘ (1903 දී Jansen විසින් පවසන ලදුව Hammes උපුටා දක්වන ලදී. 1977: 243)
නැගී එන නාගරික පංතියේ පුතුන් නීති පිඨවලටරැුස් කිරිමට හේතුව මෙසේය. ‘අපගේ කාලයේ දී නීති විශාරදභාවය කාටත් පි‍්‍රයමනාප ය. එබැවින් බොහෝ අයට නීතිය පිළිබඳ ආචාර්යවරුන් වීමට උවමනාය. බොහෝ අය මෙම කේෂ්ත‍්‍රයට ඇදී එන්නේ මුදලට කෑදරකම හා උන්නතිකාමය හේතුවෙනි. (එම).

මායාකාරියන්ට එරෙහි නඩු විභාග නීතිඥයන්, විනිසුරන්, සභා සාමාජිකයන් ආදි විශාල පිරිසකට රැුකියා සැපයීය.  අධිකාරිමය ලේඛන ව්‍යක්ත හා සංකීර්ණ ලෙස අර්ථකථනය කිරීම ඔස්සේ වියදම් ඉහළ යන පරිදි නඩු කල් දැමීමට ඔවුහු සමත් වූහ. ලෝකායත පාලනාධිකාරයත්, පල්ලියත්, කුඩා වැඩවසම් රාජ්‍යවල පාලකයන් හා නීතිඥයනුත් අතර සමීප සබඳකමක් විය.  ගාස්තු ඉහළ යාමට නීතිඥයන් වගකිව යුතු වූ අතර ඔවුහු එයින් ධනය සරි කර ගත්තේ මායාකාරියන් දඩයමෙහි අසරණ ගොදුරු මිරිකා ගැනීමෙනි. ගසාකෑම කොතරම් කෲර වීද යන්න Trierහි තෝරක (Elector of Trier – Trierහි ආච්බිෂොප්වරයා වනාහි ජර්මානු කයිසර්වරයා තෝරන කුමාරවරුන් හත්දෙනා අතුරින් එක් අයෙකි,) වු Johann von Schoenburg ට පවා මායාකාරියන්ට අදාල නඩුවිභාග ශා සම්බන්ධ උගත් ජූරිසභිකයන් හා සෙසු අය විසින් වැන්දඹුවන් හා අනාථයන් මංකොල්ලකෑම පරීක්‍ෂා කිරිමට සිදු විය. Johann von Schoenburg යනු මායාකාරියන් හා කට්ටඞීන් ලෙස මිනිසුන් සිය ගණනක් ඝාතනය කළ අයෙකි. ඇතැම් පාලකයෝ විවිධ නිලධාරීන් විසින් සූරා ගනු ලැබු ධනය හා ඉල්ලා සිටි ගාස්තුවලට කුමක් වීද යන්න සොයා බැලීමට ගණකාධිකාරවරුන් පත් කළහ.
නඩුවක වියහියදම් පහත ආකාර විය,

x    මායාකාරියක ලූහුබැඳ යන සොල්දාදුවන් විසින් බොන ලද මතපැන් සඳහා වියදම්
 
x    මායාකාරිය බැලීමට බන්ධනාගාරයට යන පූජකවරයාගේ ගාස්තු

x    ඝාතකවරයාගේ පෞද්ගලික ආරක්‍ෂාව පවත්වාගෙන යාම සඳහා වියදම්
 
(Hammes, 1977: 243-257)

සාමයික නීතිය (Cannon Law) අනුව, උරුමකරුවන් සිටිත් ද නොසිටිත් ද යන කාරණය නොතකා මායාකාරියගේ දේපළ රාජසන්තක කළ යුතු විය. හැම විටම ශත 50ට වැඩි සෑම රාජසන්තක දේපළක්ම රජය සතු විය.  බොහෝ නඩුවලදී නඩුව වෙනුවෙන් ගිය වියදම් අඩු කළ පසු ඉතිරි වූ හැමදෙයක්ම රාජ්‍ය භාණ්ඩාගාරයට ගියේය. 1532 දී පස්වන චාල්ස් අධිරාජ්‍යයාගේ Constitutio Criminales  පවසන පරිදි මෙම රාජසන්තක කිරිම නීති විරෝධී ය.  එහෙත් එම නීතිය හුදෙක් වචනවලට පමණක් සීමා විය. 

මායාකාරියන් දඩයම එතරම් ම ආකර්ශණීය  ධනෝපායන මාර්ගයක් වූ නිසා ඇතැම් ප‍්‍රදේශවල වැඩි වැඩියෙන් මිනිසුන් මායාකාරියන් හා කට්ටඞීන් ලෙස හෙළා දැකීමේ කාර්යයට ම විශේෂ කොමිෂන් සභා පිහිටුවන ලදී. චූදිතයන් වැරදිකරුවන් කරනු ලැබූ පසුව, ඔවුනට හා ඔවුන්ගේ පවුල්වලට නඩුවල සියලූ වියපැහැදම් දැරීමට සිදු විය.  මායාකාරී කොමිෂමේ සුරා හා බොජුන් බිල්පත්වල සිට, පිළිස්සීම සඳහා වූ දර දක්වා වියදම් මේ අතර විය.  තවත් මුදල් ඉපයීමේ මාර්ගයක් වූයේ, ධනවත් පවුල් තම සාමාජිකයන් නිදහස් කර ගැනීම සඳහා උගත් නීතිඥයන්ට හා විනිසුරු වරුන්ට ගෙවන ලද මුදල් ය. ඝාතනයට ලක් වූ පුද්ගලයන් අතරින් වැඩි දෙනා දුප්පතුන් වීමට මෙය ද එක් හේතුවක් විය.
Manfred Hammes මායාකාරියන් දඩයමේ දේශපාලන ආර්ථිකයේ තවත් පැතිකඩක් හෙළිදරව් කරයි. එ් වනාහි, යුද වැදී සිටි යුරෝපීය කුමාරයන් තම යුද්ධ සඳහා මේ ඔස්සේ මුදල් ඉපයීමයි.  1618-1648 තිස් අවුරුදු යුද්ධය එ් අතරින් විශේෂ ය.  මායාකාරියන්ගේ හා කට්ටඞීන්ගේ දේපළ රාජසන්තක කිරිම තහනම් කළ පස්වන චාල්ස්ගේ නීතිය මුළුමනින්ම අතහැර දමන අතර, මායාකාරියන් දඩයම යටත් වැසියන්ගේ දේපළ රාජසන්ත කිරීම වෙනුවෙන් ම දිරි ගන්වන හා සංවිධානය කරන ලදී.
Hammes නිදසුන් ලෙස කොලෝං නගරයේ උදාහරණය ද , බැවේරියාහි පුර පියවරුන් අතර ආරවුල ද ගෙන හැර දක්වයි.  ධනවත් වෙළෙඳ හා කර්මාන්ත මධ්‍යස්ථානයක් වූ කොලෝං පුරය තිස් අවුරුදු යුද්ධයේ වැඩි කාලයක් මධ්‍යස්ථව සිටියා ය. කෙසේ වෙතත්, පුරය අධිරාජයාගේ යුද අරමුදල්වලට අත දිග හැර දායක විය. එය කළ හැකි වූයේ බදු වැඩි කිරීමෙනි. විදේශ හමුදා ගම්බිම් කොල්ලකන විට බොහෝ ග‍්‍රාමීය ජනයා මෙම මධ්‍යස්ථ පුරවරයට පලා ආ හ.  එහි ප‍්‍රතිඵලයක් ලෙස ආහාර සැපයුම්වල හිඟයක් ද කැළඹිලි හා විවෘත කැරලි ද පැන නැගුනි. Catherine Hornot නම් කොලෝංහි හිටපු තැපැල්පතිනියට විරුද්ධ මායාකාරී නඩුව ඇරඹුනේ ද මේ සමයේදී ම ය. ඉන් අනතුරුව මායාකාරියන් දඩයම තීව‍්‍ර විය. මුල් නඩු තීන්දු ප‍්‍රකාශයට පත් වූ පසු බැවේරියාහි තෝරක Ferdinand  පුර අධිකාරියට පනතක් ඉදිරිපත් කළේය. තම හමුදාවට ගෙවීම් කළ යුතුව සිටි ඔහු දන්වා සිටියේ ඝාතනය කරන ලද සියලූ මායාකාරියන්ගේ දේපළ රාජසන්තක කර භාණ්ඩාගාරයට යොමු කළ යුතු බව ය.  පුරවර සභාව මෙම ආඥව කි‍්‍රයාත්මක කිරීම වැළැක්වීමට සෑම උත්සාහයක්ම දැරී ය.  ඔවුහු මේ හා අදාළ නීතිය පිළිබඳ විශේෂඥ අධ්‍යනයක් කරන්නැයි නීතිඥයන්ට කීහ.  එහෙත් තෝරක හා ඔහුගේ නීතිඥයන් අවසානයේ දී ප‍්‍රකාශයට පත් කළේ එම පනත හදිසි අවශ්‍යතාවක් බවයි.  මෑත සමයේදී මායාශිල්පයෙහි දුෂ්ඨත්වය විශාල වශයෙන් වැඩි වී තිබෙන හෙයින් නීතියේ ලේඛනය (රාජසන්තක කිරිම් තහනම් කළ පස්වන චාල්ස්ගේ Constitutio Criminales) වචනයෙන් වචනය අනුගමනය කිරිම දේශපානිකව බුද්ධිමත් නොවේ.  එහෙත් පුරයේ නීතිඥයන් මෙය අවබෝධ කර නොගත් අතර සම්මුතියක් යෝජනා කළහ.  ඔවුන් පැවසුෙවි මායොකාරියන්ට එරෙහි වැඩවලදී කරන ලද දුෂ්කර කාර්යය හා නඩුවට ගත කළ කාලය වෙනුවෙන් නීතිඥයන්, ඝාතකයන් ආදීන් වන්දි ලෙස ගාස්තුවක් ලබා ගැනීම සාධාරණ හා යුක්ති සහගත බවයි.  එහෙත් තෝරකවරයාට නාගරික මායාකාරියන් දඩයමෙන් මුදල් මිරිකා ගත නොහැකි වූයෙන් දියෝකීසියේ ග‍්‍රාමීය, ප‍්‍රදේශවල ඝාතනය කරන ලද මායාකාරියන්ගේ සියලූ දේපල රාජසන්තක කරන ලදී. (වැඩවසම් පංතිය පමණක් නොව, විශේෂයෙන්ම නගරවල නැගී එන ධනපති පංතිය සමග තරඟ කළ නොහැකි වූ කුඩා කුමාරවරු හෝ විශාල ඉඩම් හිමියෝ හෝ) නගරවල ධනහිමි පංතීහු ද මායාකාරියන්ගේ දේපල රාජසන්තක කිරීම ප‍්‍රාග්ධන සමුච්චකරණයේ මාධ්‍යයක් කර ගත්හ.
මේ අනුව, 1628 දී කොලෝංහිමත්, යුද්ධය ආරම්භ වී තිස් වසකට පසුව, පුරවර අධිකාරිහු මායාකාරියන්ගේ දේපල රාජසන්තක කිරිම හඳුන්වා දී තිබේ.  කොලෝංහි නීතිඥයන් විසින් ඉදිරිපත් කරන ලද සාධාරණීකරණයක් වූයේ මායාකාරියන් යක්ෂයාගෙන් විශාල මුදලක් ලබාගෙන තිබුණ බව හා පාලනාධිකාරයට මායාකාරියන්ගේ හා කට්ටඞීන්ගේ දුෂ්ඨත්වයන් මුලිනුපුටා දැමීම පිණිස එම ධනය රාජසන්තක කිරිම අවශ්‍ය වූ බවයි. ඇත්තෙන්ම, සමහර අවස්ථාවලදී පුරවරවලට සහ කුමාරවරුනට මායාකාරියන් සංහාරය හා රාජසන්තක කිරීම තම බිඳ වැටුණ ආර්ථිකයන් නගා සිටුවීම පිණිස සංවර්ධන ආධාර වූ බව පෙනේ. Mainz හි පුරවර පියවරු නීතිමය තත්වයන් පිළිබඳ එතරම් කරදර නොවෙමින්, මායාකාරියන්ගේ සියලූ දේපල රාජසන්තක කරන ලෙස ඉතා සරළව ඉල්ලා සිටියහ. 1618 දී, Hochheimහි ශාන්ත ක්ලේයා තාපසාරාමය විසින් ඔවුනට ‘මායාකාරියන් දුරලීම‘ පිණිස ගිල්ඩර් දෙදාහක් පරිත්‍යාග කරන ලදී.

පල්ලිය සහ  පාලම ප‍්‍රතිෂ්ඨාපනය කිරිම සඳහා මුදල් අවශ්‍ය වූ හෙයින් ඝාතන අරඹන්නට අවසර දෙන්නැයි ඉල්ලමින් Bailiff Geiss තම Lindheim හි ආදිපාදවරයා වෙත ඉදිරිපත් කරන ලද වාර්තාවක් තිබේ. බොහෝ ජනයා මායාශිල්පවල දුෂ්ඨත්වයේ ව්‍යාප්තිය ගැන කරදරයට පත්ව සිටින බව ඔහු සටහන් කළේය.

‘ඔබතුමා පිළිස්සීම ආරම්භ කිරිමට කැමති වන්නේ නම්, අපි මහත් සතුටෙන් දර සහ අනෙකුත් වියදම් සපයන්නෙමු.  එයින් කෙතරම් ධනයක් උපයා ගත හැකි ද යත්, පාලම මෙන්ම පල්ලිය ද අලූත්වැඩියා කර හැකිය.
තවද, කෙතරම් ඉපැයිය හැකි ද යත්, අනාගතයේදී ඔබට ඔබගේ සේවකයන්ට, වඩා හොඳ වැටුප් ගෙවිය හැකි ය. මක් නිසාද යත්, නිවාස පිටින් රාජසන්තක කළ හැකි අතර, විශේෂයෙන්ම වඩා ධනවතුන් හසු කර ගත හැකි ය.’ (Hammes විසින් උපුටා දක්වන ලදී. 1977:254)
මහා ලේ බොන්නන්ට අමතරව, මායාකාරියන් පිළිස්සීමෙන් ජීවනෝපාය සරි කර ගත්, ආගමික අධිකාරීහු, ලෝකායත ආණ්ඩු, වැඩවසම් පංතිය, නාගරික පාලනාධිකාරීහු, ජුරිසභිකයෝ සහ ඝාතකයෝ ආදී වශයෙන් සමස්ත සනුහරයක් ම වූහ. යාචක පූජකවරු තැන තැන යමින් ශාන්තුවරුන්ගේ පිංතූර විකිණූහ. එ්වා මිළ දී ගෙන ගිල්ලහොත්, ඔවුන් හට මායාශිල්පවලට ගොදුරු වීමෙන් වැළකී සිටිය හැකි විය.  තමන් විසින් ම පත්කර ගනු ලැබු මායා කොමසාරිස්වරු ද වූහ.  මායාකාරියන් සොයා ගැනීම්, අත්අඩංගුවට ගැනීම්, හා ප‍්‍රශ්න කිරිම් වෙනුවෙන් පාලනාධිකාරිහු මුදල් ගෙවූ හෙයින් මිනිසුන්ට තම කාලකන්නිකමෙහි හේතුව මායාකාරියන්ගේ කි‍්‍රයා තුළ දැකීමට පොළඹවමින් තැනින් තැන යමින් ඔවුහු ධනය රැුස් කළහ. හැම කෙනෙක්ම සමූහ මානසිකත්වයේ ග‍්‍රහනයට හසු වූ කල, තමන් විපත දුරලීමට පැමිණෙන බව දැනුම් දෙයි. ගැමියන් ම ඔහුට ආරාධනා කළ බව ඔප්පු කර පෙන්වීම සඳහා පළමුව කොමිසාර්ගේ නියෝජිතයෝ ගෙන් ගෙට ගොස් පරිත්‍යාග එකතු කරති.  අනතුරුව කොමිසාර් පැමිණ පිළිස්සීම් දෙක තුනක් සංවිධානය කරයි.  කිසිවෙකු මුදල් ගෙවීම ප‍්‍රතික්‍ෂ්ප කළේ නම් ඔහු කට්ටඩියකු, මායාකාරියක හෝ ඔවුන්ගේ සහායකයකු යයි සැක කරන ලදී.  සමහර අවස්ථාවලදී ගම්මාන කොමිසාර්ට අත්තිකාරමක් ගෙවූහ. එවිට ඔහු එ් ගමට නොපැමිණෙයි. Rheinbach හි Eifel ගම්මානයෙහි එසේ සිදු විය.  එහෙත් වසර පහකට පසු එම කොමසාර්වරයා ම යළි පැමිණියේය.  එවර ගැමියන් මෙම කප්පම් ගෙවීම යළි කිරිමට එකඟ නොවු හෙයින් ඔහු සිය 800 ක් වූ මරණ දඬුවම් ලැයිස්තුවට  තවත් කීපයක් එම ගමෙන් එකතු කර ගත්තේය. 

මායාකාරී භීතිකාව පැතිරීමටත්, කිසිවකු නිදහස් වුණේ කලාතුරකින් වීමටත්, ධනය අත්පත් කර ගැනීමේ හැකියාව එක් හේතුවක් විය.  1633දී, මෙම නීච කි‍්‍රයාවට එරෙහිව පොතක් ලිවීමට අවසානයේදී ධෛර්යය තිබු Friedrich von Spee මේ බව පැහැදිලිවම පෙන්වා දෙයි.  ඔහු මෙසේ ලියයි. 

x    තමන් ගැඹුරක් සහිතවගකිවයුතු නීතිඥයන් බව පෙන්වීම සඳහා නීතිඥයෝ ප‍්‍රශ්න කරන්නෝ ආදීහු වධ බන්ධන පාවිච්චි කළහ.
 
x    ඔවුන්ගේ රැුකියාවෙහි අවශ්‍යතාව හුවා දැක්වීම පිණිස ඔවුනට බොහෝ මායාකාරියන් අවශ්‍ය විය.

x    මායාකාරියන් වෙනුවෙන් කුමාරයා පොරොන්දු වී ඇති ගාස්තුව අහිමි කර ගැනීමට ඔවුනට අවශ්‍ය වූයේ නැත. 
 
සාරංශ කිරිම සඳහා අපිට Cornelius  Loos මායාකාරියන්ට එරෙහි නඩු විභාග ගැන කී ‘එය මිනිස් රුධිරයෙන් රත‍්‍රං තැනු නව රසායන විද්‍යාවක් විය.‘ (Hammes 1977: 257)  යන ප‍්‍රකාශය උපුටා දැක්විය හැකිය. ඒ ගැහැනු රුධිරයෙන් යයි අපට එයට එකතු කළ හැකි ය.
පැරණි පාලක පංති මෙන්ම නැගී එන නව ධනපති පංතිය විසින් ද මායාකාරියන් දඩයම් කිරීමේ කි‍්‍රයාවලිය හරහා ගොඩ ගසා ගන්නා ලද ප‍්‍රාග්ධනය පිළිබඳ තක්සේරු හා ගණනය කිරීම් එම යුගයේ ආර්ථික ඉතිහාසඥයන් විසින් කොතනකවත් සඳහන් කරනු ලැබ නැත.  මායාකාරියන් දඩයමේ ලේ සල්ලි බංකොලොත් කුමාරවරුන්ගේ, නීතිඥයන්ගේ, වෛද්‍යවරුන්ගේ, විනිසුරුවන්ගේ හා මහාචාර්යවරුන්ගේ පෞද්ගලික ධනවත් වීමටත්, යුද්ධ කිරීම්, නිලධාරි තන්ත‍්‍රය ගොඩනැගීම, යටිතල පහසුකම් කටයුතු සහ අවසානයේදී නව පරම රාජ්‍යය ගොඩනැගීම යනාදී පොදු කටයුතුවලටත් උපයෝගි කර ගන්නා ලදී. මෙම ලේ සල්ලි ප‍්‍රාග්ධන සමුච්චකරණයේ මුල් කි‍්‍රයාවලිය පෝෂණය කළේය. සමහරවිට එය යටත් විජිත සූරාකෑම හා මංකොල්ලකෑම මට්ටමට ම නොවිය හැකි වුව ද, අද අප දන්නා තරමට නම් බෙහෙවින් වැඩි මට්ටමකිනි.

එහෙත් මායාකාරියන්ට වධ හිංසා පැමිණවීම හා ඝාතනය පොළඹවනු ලැබුවේ ආර්ථික කාරණා විසින් පමණක් නොෙවි. මායාකාරියන් ප‍්‍රශ්න කිරීම මිහිමවගේ රහස් උකහා ගැනීමේ නව විද්‍යාත්මක ක‍්‍රමය සංවර්ධනය කිරිමෙහි ලා ආදර්ශනයක් විය. නවීන විද්‍යාෙවි පියා වූ Francis Bacon විසින් පදනම යොදන ලද උද්ගාමී ක‍්‍රමයේදී (Inductive method) මායාකාරියන් වධයට භාජනය කළ අය විසින් ඔවුන්ගේ රහස් දැනගැනීම ස`දහා භාවිත කළ වධදීම, විනාශය, ප‍්‍රචණ්ඩත්වය යන ක‍්‍රම හා දෘෂ්ටිවාදය ම මිහිමවගේ රහස් දැනගැනිම සඳහා ද උපයෝගි කර ගනු ලැබූ බව Carolyn Merchant  පෙන්වා දෙයි. නව විද්‍යාත්මක ක‍්‍රමය හඳුන්වා දීම සදහා Bacon සිතා මතාම මායාකාරියන් දඩයමේ චිත්ත රූප පාවිච්චි කරයි.  සොබාදහම යනු යාන්ති‍්‍රක නව නිපැයුම් මගින් වධයට භාජනය කළ යුතු ස්ත‍්‍රියක යයි හේ පවසයි. (Merchant, 1983:168) එය නව යන්ත‍්‍ර මගින් මායාකාරියන් වධයට බඳුන් කළ ආකාරය වැනි ය. සොබාදහමේ  රහස් ගෙවිශනය කළ යුතු ක‍්‍රමවේදය ප‍්‍රශ්න කිරීම (inquisition) හරහා මායාශිල්ප රහස් සොයා දැනගත් ක‍්‍රමය තුළ ඇති බව ඔහු පැවසීය. (For you have but to follow and as it were hound out nature in her wanderings, and you will be able when you like to lead and drive her afterward to the same place  again…..) (Merchant විසින්  උපුටා දක්වන ලදි. 1983: 168)

මධ්‍යතන යුගයේ දී මිහිමව  තුළට සිදුරු කැණීම් හෝ ඇය දූෂණය කිරීම මත පැනවු සියලූ තහංචි බිඳ දැමිය යුතු බවට ඔහු දැඩිවම උපදෙස් දුන්නේය. (Neither ought a man to make scruple of entering and penetrating into these holes and  corners, when the inquisition of truth is his whole subject….) (Merchant1983:168) ඔහු සොබාදහම ප‍්‍රශ්න කිරීම මායාකාරියන් ප‍්‍රශ්න කිරිමට හා අධිකරණ සාක්ෂිවලට සන්සන්දනය කළේය.

“I mean (according to the practice in civil causes) in this great plea or suit granted by the divine favour and providence (whereby the human race seeks to recover its right over nature) to examine nature herself and the arts upon interrogatories…… ” (Merchant, 1983: 169)

නව යාන්ත‍්‍රික මෙවලම් මගින් බලහත්කාරයෙන් දූෂණය නොකළහොත් සොබාදහම තම රහස් හෙළි කරන්නේ නැත. 

“For like a man’s disposition is never well known or prove till he be crossed, nor Proteus ever changed shapes till he was straitened and held fast, so nature exhibits herself more clearly under the trials and vexations of art (mechanical devices) than when left to herself” (quoted by Merchant 1983:169)

Baconට අනුව, සොබාදහම ‘වහලකු‘ කර ‘සේවයට බැඳ ගත යුතුය.‘ ‘බලහත්කාරයට ලක් කර‘ ‘ව්‍යච්ඡ්දනය‘ කළ යුතුය. කාන්තා ගර්භය සංකේතාත්මකව වෙද අඬුවල ග‍්‍රහණයට යටත් වූවා සේ සොබාදහම කුසෙහි සැඟවුණ රහස් ද තාක්ෂණය මගින් බලෙන් උදුරාගෙන මානව තත්වයන් වැඩි දියුණු කිරිමට උපයෝගී කර ගත යුතුය. (Merchant, 1983: 169)

තවමත් නවීන විද්‍යාවේ පදනම වන Baconගේ විද්‍යාත්මක ක‍්‍රමය දැනුම හා ද්‍රව්‍යමය බලය එක්සත් කළේය. බොහෝ තාක්ෂණික නවනිපැයුම් ඇත්ත වශයෙන්ම අදාළ කර ගනු ලැබුවේ යුද්ධයට හා ආක‍්‍රමණයටයි.  වෙඩි බෙහෙත් නාවික ගමනාගමනය හා කාන්දම් නිදසුන් වේ. මෙම ‘යුද කලාවන්‘ දැනුම සමඟ සම්බන්ධ කරන ලදී. මුද්‍රණය නිදසුනකි. එ් අනුව නව මිනිසා ගැහැණිය හා සොබා දහම මත තම ආධිපත්‍යය පිහිටුවීමේදී උපයෝගී කරගත් යතුරු වදන හා ප‍්‍රධාන ක‍්‍රමය වන්නේ ප‍්‍රචණ්ඩත්වයයි. බලහත්කාරිත්වයේ මෙම ක‍්‍රම සොබාදහමේ වලනය මත මෘදු මඟපෙන්වීමක් මුදා හැරියා නොවේ.  ඇය ආක‍්‍රමණය කර, යටත් කර ගැනීමේ හා පදනමට ම සෙලවීමේ බලය එයට තිබිණි. (Merchant, 1983: 172)

Carolyn Merchant මෙසේ නිගමනය කරයි.

‘මායාකාරියන් ප‍්‍රශ්න කිරීම සොබාදහම ප‍්‍රශ්න කිරීමේ සංකේතයක් ලෙස ද අධිකරණ ශාලාව ප‍්‍රශ්න කිරීමේ ආදර්ශනය ලෙස ද, යාන්ත‍්‍රික උපකරණවලින් වධදීම අපිළිවෙල යටපත් කිරීමේ මෙවලමක්  ලෙස ද, බලයක් ලෙස විද්‍යාත්මක ක‍්‍රමයට ( අවධාරණය එකතු කර ඇත) මූලධර්මයක් විය. (Merchant 1983:172)

ගැහැනිය සහ සොබාදහම මත මෙම නව විද්‍යාත්මක පීතෘමූලික ආධිපත්‍යයේ වාසි අත්පත් කර ගත්තේ වෙළෙන්ඳන්ගෙන්, පතල් කර්මාන්තකරුවන්ගෙන්, රෙදිපිළි ධනවාදීන්ගෙන් සැදුම් ලත් නැගී ආ ප්‍රොතෙස්තන්ත ධනවාදී පංතියයි. ලිංගිකත්වය හා ප‍්‍රජනන ධාරිතාව මත ස්ත‍්‍රිය සතුව පැවති පැරණි ස්වාධිපත්‍යය බිඳ දමා, ගැහැනුන් බලහත්කාරයෙන් වැඩිපුර කම්කරුවන් වදන තත්වයට පත් කිරිමට මෙම පංතියට උවමනා විය.  එ් හා සමානවම සොබාදහමට ද එම පංතිය විසින් සූරාගනු ලැබ ලාභ බවට පත් කර ගත හැකි දැවැන්ත ද්‍රව්‍යමය සම්පත් ආකාරයක් බවට පත් වීමට සිදු විය.

මේ ආකාරයට, පල්ලිය, රාජ්‍යය, නව ධනපති පංතිය හා නවීන විද්‍යාඥයෝ ස්ත‍්‍රිය හා සොබාදහම ප‍්‍රචණ්ඩ ලෙස යටපත් කිරීමට දායක වූහ. මෙම පංතීන් විසින් ස්තී‍්‍ර ස්වභාවය තම අවශ්‍යතා අනුව හැඩ ගැස්වීමේ භීෂණ ක‍්‍රමවල ප‍්‍රතිඵලය වූයේ, 19වන සියවසේ දුබල වික්ටෝරියානු ගැහැනියයි. එමගින් මෙම පංතිය තම අවශ්‍යතාවන්ට අනුකූලව ‘ගැහැනු ස්වභාවය‘ යළි හැඩගස්වා ගත්තේය. (Ehrenreich, English 1979)

සඳහන් කරන ලද කාල පරිච්ජේදය ප‍්‍රාථමික ප‍්‍රාග්ධන සමුච්ඡුකරණයේ යුගය ලෙස හැදින්විය හැකිය. ධනේශ්වර නිෂ්පාදන මාදිලිය ස්ථාපිත වීමටත්, අතිරික්ත වටිනාකම් නිෂ්පාදනයේ යන්ත‍්‍රයෙන් දිවෙන ප‍්‍රාග්ධනයේ විස්තෘත ප‍්‍රති නිෂ්පාදන ක‍්‍රියාවලියක් ලෙස එය විසින්ම නඩත්තු වීමටත් පෙරාතුව, මෙම කි‍්‍රයාවලිය ආරම්භ කිරීම සඳහා ඇති තරම් ප‍්‍රාග්ධනය එක් රැස් කර ගත යුතු විය. 16 වන හා 17 වන සියවස් අතරතුරදී ප‍්‍රාග්ධනය යටත්විජිතවල විශාල වශයෙන් එ්කරාශි විය. මෙම ප‍්‍රාග්ධනයෙන් වැඩි හරිය වෙළඳ ධනවාදය විසින් ‘අවංකව’ උපයා ගත් එවා නොවේ. එය උපයා ගත්තේ මංකොල්ලයෙන්, සොරකමින් හා වහල් ශ‍්‍රමයෙනි.

වැනීසියානුවන් විසින් පවත්වාගෙන යන ලද නැගෙනහිර සමග කුළුබඩු වෙළදාමේ එ්කාධිකාරය පෘතුගීසි, ස්පාඤ්ඤ, ලන්දේසි සහ ඉංග‍්‍රීසි වෙළඳුන් විසින් බිඳ දමන ලදී.  ස්පාඤ්ඤ, පෘතුගීසි දේශ ගවේශන බොහොමයක් සඳහා පෙළඹවීම වූයේ නැගෙනහිරට ස්වාධීන මුහුදු මාර්ගයක් සොයාගැනීමේ උනන්දුවයි. යුරෝපයේ දී මෙය මිළ විප්ලවයක් හෙවත් උද්ධමනයක් බිහි කළේය. එයට හේතු දෙකක් ඇත. 
 
01. රිදීවලින් තඹ වෙන් කර ගැනීමේ තාක්‍ෂණික සොයා ගැනීම.

02. Cuzco (ගිනිකොණදිග පේරු රාජ්‍යයේ පුරවරයකි) සූරාකෑම සහ වහල් ශ‍්‍රමය.

වටිනා ලෝහ සඳහා වූ පිරිවැය පහත වැටුණි. මේ හේතුවෙන් දැනටමත් වෙහෙසට පත්ව සිටි වැඩවසම් පංතිය සහ වැටුප්ලාභී ශිල්පීහූ ගරා වැටුණෝය. මැන්ඩෙල් (Mandel) මෙසේ නිගමනය කරයි.

16 වන හා 18 වන සියවස අතරතුරදී කර්මාන්ත ප‍්‍රාග්ධනයේ ප‍්‍රාථමික සමුච්චකරණයේ ප‍්‍රධාන මූලාශයක් වූයේ මූර්ත වැටුප්වල පහත වැටීමයි.  මෙය මිනිසුන්ගේ මුලික ආහාරය වූ පාන් වෙනුවට ලාභ අර්තාපල් ආදේශ වීම මගින් සළකුණු විය.  (Mandel, 1971: 107)

ප‍්‍රාථමික සමුච්චකරණයේ මුල් අදියර වනාහි වෙළඳ හා වාණිජ ප‍්‍රාග්ධනය විසින් යටත් විජිතවල මානව හා ස්වභාවික ධනය කෘර ලෙස මංකොල්ල හා සූරා කනු ලැබීම යයි කෙනෙකුට කිව හැකිය.  මේ අනුව 1550 වසර වන විට එංගලන්තයෙහි කැපී පෙනුණ ප‍්‍රාග්ධන හිඟයක් තිබිණි.

වසර කීපයක් ඇතුලත, ස්පාඤ්ඤ නාවික බලඇණියයට විරුද්ධව දියත් වුණු, සමස්තයක් ලෙස එ්කාබද්ධ කොටස් සමාගම් ලෙස සංවිධාන වූ චෞර මෙහෙයුම් විසින් තත්වය වෙනස් කෙරිණ. Drake එවැනි පළමු මෙහෙයුම 1577-1580 සමයේ දී දියත් කරනු ලැබුවේ පවුම් 5000 ක ප‍්‍රාග්ධනයකිනි…… එමගින් උපයන ලද ලාභය පවුම් 600,000 ක් විය. එයින් අඩක්ම රැුජිනට හිමි විය. එලිසබෙත් රැජිනගේ සමයේ දී මෙම චෞරයන් එංගලන්තයට පවුම් මිලියන 12 ක් උපයා දුන් බවට Beard තක්සේරු කරයි. (Mandel,1971: 108)
 
හයිටි, කියුබා, නිකරගුවා, වැනි කලාප ජනහරණය කරමින් මිලියන 15ක් (රතු)ඉන්දියානුවන් සංහාරය කළ ස්පාඤ්ඤ ආක‍්‍රමණිකයන්ගේ කතාව ඉතා ප‍්‍රසිද්ධය. 1502-1503 සමයේ දී වස්කෝ ද ගාමාගේ දෙවන වර ඉන්දියාවට සපැමිණීම ද සලකුණු වී ඇත්තේ එවැනිම රුධිර පතනයකිනි.
එය ගම්මිරිස්, එනසාල් හා කුරුඳු වෙළෙන්දන්ගේ එක්තරා ආකාරයක කුරුස යුද්ධයක් විය. අති භයංකර දාමරිකකම් එහි අඩංගු විය. පුදුමයකට මෙන් ලෝකයේ අනෙක් කෙළවරේ දී ද පෘතුගීසින්ට නැවතත් හමුවන වෛරයට පාත‍්‍ර මුසල්මානයන්ට එරෙහිව  ඕනෑම දෙයක් කිරීම සඳහා අවසර තිබිණී. (Hauser ගෙන් උපුටා දක්වන ලදී. Mendel, 1971: 108)

ආරම්භයේ සිටම වාණිජ ව්‍යාපෘතිය පදනම් වූයේ එ්කාධිකාරය මතයි. ලන්දේසීහූ පෘතුගීසින් එළවා දැමුහ. ඉංගී‍්‍රසිහු ලන්දේසින් එළවා දැමූහ.

එබැවින්, ඉන්දුනීසියානු දූපත් සමූහයේ යටත් කරගැනීම්වලින් ලබා ගත් කුළුබඩු පිළිබඳ ආධිපත්‍යය මත පදනම් වූ ලාභයකට හිමිකම් කී ලන්දේසි වෙළෙන්දන්. යුරෝපයේ මිළ ගණන් පහළ වැටීම ඇරඹුණු වහාම මොලූක්කාස්හි කුරුඳු ගස් මහා පරිමාණයෙන් සංහාරය කිරීම පිළිබද පුදුම විය යුතු නොවේ. සියවස් ගණනාවක් තිස්සේ මෙම ගස් වගා කිරිමෙන් ජීවිකාව සරි කරගත් ජනයා සමගම එම ගස් වනසා දැමීමේ ‘හොංගි සමුද්‍ර චාරිකා’ ලන්දේසි යටත් විජිතකරණයේ ඉතිහාසය මත දැවැන්ත පැල්ලමක් සලකුණු කළේය. එය ඇත්තෙන්ම ආරම්භ වුණේ ද එවැනි ම ශෛලියකිනි. අද්මිරාල් ජේ.පී. කොහෙන් බන්ඩා දූපත්වල සියලූ පුරුෂ පදිංචිකරුවන් වඳ කර දැමීමෙන් නතර වුනේ නැත. (Mandel, 1971: 108)
 
ලන්දේසි නැගෙනහිර ඉන්දීය සමාගම, ඉංගී‍්‍රසින්ගේ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම හා Hudson Bay සමාගම සහ ෆ‍්‍රන්ස නැගෙනහිර ඉන්දීය සමාගම යන මේ සියල්ල කුළුබඩු වෙළඳාම වහල් වෙළඳාම සමග එ්කාබද්ධ කළහ.

1636 සහ 1645 අතරතුර දී ලන්දේසි බටහිර ඉන්දීය සමාගම 23,000 ක් නීග්‍රෝවරුන් ෆ්ලෝරින් (ඉතාලියානු මුදල් ඒකකයකි* මිලියන 6ග7 කට හෙවත් එක් අයෙක් ෆ්ලෝරින් 300 බැගින් විකුණන ලදී. එක් වහලෙකු වෙනුවෙන් හුවමාරු කරගන්නා ලද භාණ්ඩවල වටිනාකම ෆ්ලෝරින් 50 කට වැඩි නොවීය. 1728 සහ 1760 අතරතුර දී Le Havre වෙතින් නික්මුණ නැව් සෙනෙගාලයෙන්, ගොල්ඞ් කෝස්ට්, Loango ආදී තැන්වලින් මිළ දී ගන්නා ලද වහලූන් 203,000ක් Antilles වෙත ගෙන ගියහ. එමගින් උපයන ලද ආදායම Livres ෆ‍්‍රන්සයේ පැරණි මුදල් එ්කකයකි) මිලියන 203 ක් විය. 1783 – 1793 සමයේ දී ලිවර්පුල්හි වහල් වෙළෙන්දෝ මිලියන 15කට 300,000 ක් වහලූන් අලෙවි කළහ’.  එම මුදල් විසින් කර්මාන්ත ව්‍යවසායන් සඳහා පදනම සකසන ලදී, (Mandel, 1971:110) 
 
අපි‍්‍රකාවේ, ආසියාවේ, ලතින් හා මධ්‍යම ඇමරිකාවේ අලූතින් පිහිටුවන ලද පෘතුගීසි, ලන්දේසි හා ෆන්සශ විජිත කළ යටත් විජිතකරණ ක‍්‍රියාවලිය කාන්තාවන් කෙරෙහි බලපෑ ආකාරය පිළිබඳව මෙම යුගය විශ්ලේෂණය කළ Mandel සහ වෙනත් අය වැඩි යමක් සඳහන් නොකරති. වෙළඳ ධනපතීහු මෘග බලය, පූර්ණ මංකොල්ලය හා පැහැර ගැනීම මත ප‍්‍රධාන වශයෙන් රඳා පැවතුණ හෙයින්, කාන්තාවන්ද මෙම  කි‍්‍රයාවලියෙහි ගොදුරු වූයේ යැයි අපිට සිතිය හැකි ය.

ශිෂ්ටකරණ කි‍්‍රයාවලියේ මෙම සැඟවුණු පැත්ත වෙත ස්තී‍්‍රවාදී බුද්ධිමතුන් විසින් කරන ලද මෑත කාලීන අධ්‍යයන විසින් ආලෝක ධාරාවක් එල්ල කර තිබේ.  කැරිබියානු කලාපයේ කාන්තාව සහ වහල් භාවය පිළිබඳ Rhoda Redock ගේ කෘතිය පැහැදිලිවම පෙන්වා දෙන්නේ යටත්විජිතවාදීන් යටත් ජනතාවන්ගේ ගැහැණුන්ටත්, තමන්ගේම ගැහැනුන්ටත් සලකන ලද්දේ එකිනෙකට හාත්පසින්ම වෙනස් වටිනාකම් පද්ධති දෙකක් ඔස්සේ බවයි. දීර්ඝ කාලයක් පුරා කැරිබියානු වහල් ගැහැනුන්ට විවාහ වීමට හා ළමයින් හැදීමට ඉඩ දුන්නේ නැත. වහල් ශ‍්‍රමය ප‍්‍රති නිෂ්පාදන කිරීමට වඩා එය ආනයනය කිරීම ලාභදායක වූ හෙයිනි.  මේ සමයේදීම ධනපති පංතිය තමන්ගේ ගැහැනුන් ශුද්ධ, එ්ක පුරුෂ විවාහ සංස්ථාවක් තුළ තම අනාගත පරම්පරා බෝ කරන්නන් ලෙස ගෘහස්ථකරණය කළ හ. ඔවුහු නිවසින් බැහැර වැඩවලින් හා දේපල හිමි කාරිත්වයෙන් බැහැර කරනු ලැබූ හ. 
 
යුරෝපීය වෙළඳ ධනපතින් විසින් අපි‍්‍රකාවේ, ආසියාවේ හා ඇමරිකාවේ ජනයා වෙත එල්ල කරන ලද මෙම කෲර ප‍්‍රහාරය සාධාරණීකරණය කරනු ලැබුවේ කි‍්‍රස්තියානි ජාතීන්ගේ ශිෂ්ටකරණ මෙහෙයුමක් ලෙසයි. දිළිඳු යුරෝපීය ගැහැනුන් මායාකාරියන් ලෙස සලකා දඩයම් කළ විනයගතකරය කළ ක‍්‍රියාවලියත්, යටත් විජිතවල ‘ම්ලේච්ඡ’ ජනයා ‘ශිෂ්ඨකරණයත්’ අතර සම්බන්ධය අපට මෙහිදී දැකිය හැකිය.  මේ දෙකම අර්ථකථනය කරනු ලැබුවේ පාලනය කළ නොහැකි, භයානක, ම්ලෙච්ඡ‘ස්වභාවයන්’ ලෙසයි. බලය හා හිංසනය පාවිච්චි කර මංකොල්ලයට, අත්පත්කරගැනීමට හා සූරාකෑමට එරෙහිව එ්වායේ ප‍්‍රතිවිරෝධය බිඳිය යුතු විය. 

පරිවර්තනය
අජිත් පැරකුම් ජයසිංහ